නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදුදීම නොකරන බව ජනපති වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට කියයි (වීඩියෝ)

Wednesday, 13 January 2021 - 16:41

%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8+%E0%B7%84%E0%B7%9D+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කොළඹ වරායේ, නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදු දීම හෝ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වරාය වෘත්තීය සමිති නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය රජය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට ගිවිස ගෙන තිබු අතර විකිණීමෙන් පසු ජපානයෙන් ණයක් ගැනීමත්, ණය මුදලින් ඉදිකිරීම් සඳහා වන උපකරණ මිලදී ගැනීමත් ගිවිසුමට ඇතුළත් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ගිවිසුම පිළිබඳව වත්මන් රජය ඉන්දියාව සමග කළ සාකච්ඡාවලින් පසු 51%ක අයිතිය සහ පර්යන්තයේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබා ගැනීමේ එකඟතාවට පැමිණීමට හැකි වූ බව ජනාධිපතිවරයා වෘත්තීය සමිති නියෝජිතයන්ට පෙන්වා දී තිබෙනවා.

රට තුළ කෙරෙන ආයෝජන මගින් රටේ ස්වෛරීභාවයට හෝ ස්වාධීනත්වයට හෝ කිසිදු හානියක් වීමට තමා ඉඩ නොතබන බවයි ඔහු අවධාරණය කළේ.

වෘත්තීය සමිති කළ ඉල්ලීමට අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ සාකච්ඡාවක්  පැවැත්වුණා.

පසුගිය රජය විසින් හම්බන්තොට වරාය 99 වසරකට චීන රජයට සම්පූර්ණයෙන් බදු දී තිබු අතර තමා බලයට පත්වීමෙන් පසු චීනය සමග සාකච්ඡා කර වරායට අයත් මුහුදු ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ වගකීම රජය යටතට ගත් බව ද ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දුන්නා.

නැගෙනහිර පර්යන්ත සංවර්ධනය සැලසුම් කළේ කලාපීය භූ දේශපාලනික සාධක, රටේ ස්වෛරීභාවය, අදායම් සහ රැකියා උත්පාදනය ඇතුළු සියලු සාධක සමාලෝචනය කිරීමෙන් පසුව බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

ආයෝජන වැඩසටහන යටතේ නැගෙනහිර පර්යන්තය  “තිරසාර සංවර්ධනයකට” ලක් කරන බව ද ඔහු පැහැදිළි කළා.

නැගෙනහිර පර්යන්තය ප්‍රතිඅපනයන මෙහෙයුම්වලින්   66%කට ඉන්දියාව දායක වනවා.

9% බංග්ලාදේශයටත්, ඉතිරිය තවත් රටවල් කිහිපයකටත් කෙරෙන ප්‍රතිඅපනයනයන්.

ශ්‍රී ලංකා රජයට 51% අයිතිය සහ ඉතිරි 49% ඉන්දීයාවේ “අදානි” සමාගමටත්, වෙනත් පාර්ශ්වයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් විය හැකි ආයෝජනයක් ලෙස පර්යන්තය සංවර්ධනය කිරීම සැලසුම බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඒ පිළිබඳ කිසිදු සැකයක් තබා නොගන්නා ලෙසට ඔහු ඉල්ලා සිටි අතර සියලු වෘත්තීය සමිති නියෝජිතයන් එක්ව මේ වැඩසටහන පිළිබඳව සිය යෝජනා සහ අදහස් ඉදිරිපත් කරන ලෙසට වෘත්තීය සමිති ප්‍රධානීන්ට දන්වා තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙහිදී වැඩිදුරටත් කියාසිටියේ වරාය බටහිර පර්යන්තයේ මෙහෙයුම්  වරාය අධිකාරියට පැවරීමට තමා අපේක්ෂා කරන බවයි.

වරාය සංවර්ධනය සඳහා සැලසුම් ඉදිරිපත් කිරීමේ වැදගත්කම ද ඔහු මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයන්ට පෙන්වා දී තිබෙනවා.