රවීගෙන් ගැලවුණු එජාප උපනායක ධුරය අකිලට (වීඩියෝ)

Wednesday, 13 January 2021 - 19:47

%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරි මණ්ඩලය අද පත් කෙරුණු අතර, මෙතෙක් එහි උපනායක ධුරය දැරූ රවී කරුණානායකට එම ධුරය අහිමිවී ගොස් තිබෙනවා.

නව නිලධාරින් තෝරා පත් කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද පෙරවරුවේ රැස්වුණේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදීයි.

එහිදී පක්ෂයේ සභාපතිවරයා ලෙස වජිර අබේවර්ධන පත්කෙරුණු අතර, නව මහලේකම්වරයා ලෙස පත් කරනු ලැබුවේ පාලිත රංගේ බණ්ඩාරයි.

නියෝජ්‍ය නායකවරයා ලෙස රුවන් විජේවර්ධන යළි පත් කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ උප නායකයා ලෙස අකිල විරාජ් කාරියවසම් පත් කිරිමට තීරණය කර ඇති අතර, පක්ෂ භාණ්ඩාගාරිකවරයා ලෙස යළි පත් කර ඇත්තේ ඒ.එස්.එම් මිස්බායි.

එසේම, වැඩබලන මහලේකම්වරයා ලෙස කටයුතු කළ ශමල් සෙනරත් පක්ෂයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ලෙස පත් කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ විසින් තවදුරටත් දරණ බවයි මෙහිදී ප්‍රකාශ වී ඇත්තේ.

මීට අමතරව, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙස අර්ජුන රණතුංග සහ ඩී.එම්.ස්වාමිනාදන් පත් කර තිබෙනවා.

දයාගමගේ සහ සාගල රත්නායක පත් කර ඇත්තේ උප සභාපතිවරුන් ලෙසටයි.

එසේම, නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස නාලක කොලොන්නේ ද නීති ලේකම්වරයා ලෙස නිශ්ශංක නානායක්කාර ද ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම්වරයා ලෙස සන්දිත් සමරසිංහ ද පත් කිරීමටයි එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර ඇත්තේ.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති සහ සමීක්ෂණ අංශයේ සභාපතිවරයා ලෙස ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු පත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, තමා අද දිනයේ ජාතික සංවිධායක ධුරය යළි භාර නොගත් බවත් ඒ සම්බන්ධයෙන් වන තීරණය දින 10 ක් ඇතුළත ප්‍රකාශ කරන බවත්, නවීන් දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

අද පැවති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය ඇතුළු නියෝජිතයන් 4 දෙනෙකු සහභාගි වී නැහැ.

එක්සත් ජාතික පක්ෂයේ ලක් වනිතා සංගමයේ සභාපති, යොවුන් පෙරමුණේ සභාපති හා පක්ෂයේ සහකාර භාණ්ඩාගාරික යන තනතුරු කඩිනමින් පත් කිරීමටයි පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද තීරණය කර ඇත්තේ.