ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් පනස් දහස ඉක්මවයි

Wednesday, 13 January 2021 - 20:18

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%84%E0%B7%83+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද පනස් දහස ඉක්මවා ගියා.

ඒ අද තවත් ආසාදිතයන් 378ක් වාර්තාවීමත් සමගයි.

ඒ අනුව මෙරටින් හමුවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 50229ක්.

මේවන විට හමුවූ ආසාදිතයන්ගෙන් 6718ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 43267ක්.

මෙරටින් කොරෝනා ආසාදිත මරණ 244ක් වාර්තාවුනා.

මේ අතර බ්‍රිතාන්‍යයෙන් ප්‍රථම වරට හඳුනාගත් කොරෝනා වෛරසයේ විකෘති වූ නව ප්‍රභේදය ආසාදනය වූ බ්‍රිතාන්‍ය ජාතිකයා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර අද පෙරවරුවේ කියා සිටියේ දිවයිනට පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට මෙලෙස එම නව වෛරස ප්‍රභේදය ආසාදනය වී ඇති බවයි.

පසුගියදා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සංචාරයක් සඳහා දිවයිනට පැමිණි අතර, පසුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී අනාවරණ වුණේ එංගලන්ත කණ්ඩායමේ මොයින් අලීට පමණක් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

කෙසේ වෙතත්, අදින් නිරෝධායන කාලසීමාව අවසන්වීමට නියමිතව තිබූ ඔහුගේ නිරෝධායන කාලසීමාව තවත් දින කිහිපයක් දීර්ඝ කිරීමට උපදෙස් ලැබී තිබෙනවා.

‘ද ගාර්ඩියන්’ වෙබ් අඩවිය වාර්තා කළේ කොරෝනා වෛරස ආසාත්මිකතා ඇතිවන සුළු රෝග ලක්ෂණ සහ විඩාවට පත්වීම් හේතුවෙන් මෙලෙස ඔහුගේ නිරෝධායන කාලසීමාව දිගුකර ඇති බවයි.

වැඩි ප්‍රචාරණ හැකියාවක් සහිත නව කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදනය වී ඇති බවට පැවති සැකයද ඔහුගේ නිරෝධායන කාලය දීර්ඝ කිරීමට හේතුවක්.

ඒ අනුව ගාල්ලේදී හෙට ආරම්භ වන එංගලන්ත - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟය මෙන්ම දෙවන ටෙස්ට් තරඟයද මොයින් අලීට අහිමි වනු ඇති.

මෙලෙස ශ්‍රී ලංකාවෙන්ද පළමු වරට බි්‍රතාන්‍යයෙන් වාර්තා වූ කොරෝනා වෛරස් නව ප්‍රභේදය හඳුනාගැණුනේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිලීකා මලවිගේ ඇතුළු පර්යේෂණ කණ්ඩායම සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවයි.

මේ සම්බන්ධයෙන් අද පස්වරුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ වූ අතර, එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොරෝනා නව වෛරස ප්‍රභේදය වැළඳී ඇති බව එහිදී තහවුරු වුණා.

මේ අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම අද ආරම්භ වුණා.

ඒ අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙකුගේ සහ  කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්, පොලිස් නිලධාරීන්, ඇතුළු 448 දෙනෙකුටද අද පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බව පාර්ලිම්න්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ලබන 15 වැනිදාද යලි පාර්ලිමේන්තු සංකීර්ණයේදී පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු පැවැත්වීමට නියමිතයි.                                              

මේ අතර කොවිඩ් 19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රයාන්විත මධ්‍යස්ථානයෙ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සංචාරක හෝටල් හිමිකරුවන් ඇතුළු හෝටල් ක්ෂේත්‍රෙය් ප්‍රධානීන් අතර හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා.

එහිදී යුද හමුදාපතිවරයා අවධාරණය කර ඇත්තේ විදෙස් රටවලින් පැමිණෙන පිරිස නිරෝධායනය සඳහා තෝරාගන්නා හෝටල් එම සේවා සැපයීමේදී කිසිදු බාහිර පාර්ශ්වයක බලපෑමකට යටත් නොවිය යුතු බවයි.

නිරෝධායන කටයුතුවලදී කිසිදු තුන්වන පර්ශ්වයකට කිසිම මුදලක් ගෙවීමට අවශ්‍ය නොවන බව අවධාරණය කළ යුද හමුදාපතිවරයා සඳහන් කර ඇත්තේ කවුරුන් හෝ එවැනි ඉල්ලීමක් සිදුකළ හොත් නොපමාව තමන් දැනුවත් කරන ලෙසයි.

මේ අතර හෙට සැමරෙන තෛපොංගල් උත්සවය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව සිදුකරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන හින්දු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියා.