දෝෂාභියෝගයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පරාදයි

Thursday, 14 January 2021 - 7:20

%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A9%E0%B7%9C%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේදී ඊයේ සම්මත වූ අතර, එමඟින් ඔහු දෙවරක් දෝෂාභියෝගයට ලක්වූ ප්‍රථම අමෙරිකානු ජනාධිපතිවරයා බවට පත්වනවා.

කොංග්‍රස් සභිකයින් දෙසිය තිස් දෙදෙනෙකු දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර, ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළේ 197 දෙනෙකු පමණයි.

ජනපති ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ කොංග්‍රස් සභිකයින් දස දෙනෙකුද දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය භාවිත කිරීම විශේෂත්වයක්.

කැපිටල් හෙවත් වොෂින්ටන් අගනුවර පිහිටි අමෙරිකානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදීම සඳහා සිය අනුගාමිකයින් පෙළඹවීමෙන්, ව්‍යවස්ථාපිත රාජ්‍ය යාන්ත්‍රණය බිඳ හෙලීමට යත්න දැරීම ජනපති ට්‍රම්ප්ට එරෙහිව එල්ල වූ චෝදනාවයි.

ඩිමොක්‍රටික් පක්ෂ කතානායිකා නැන්සි පෙලෝසි දෝෂාභියෝගය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය දූෂිත බව පවසමින් එය පිළිනොගන්නා බවට දිගින් දිගටම ප්‍රකාශ නිකුත් කළ ජනපති ට්‍රම්ප්, පසුගිය 06 වැනිදා ධවල මන්දිරය ඉදිරිපිටදී සිය අනුගාමිකයින් ප්‍රචණ්ඩ ප්‍රහාරයකට පෙළඹ වූ බවයි.

ජෝ බයිඩ්න්ගේ ජනාධිපති ධූරය සහතික කිරීම සඳහා කොංග්‍රස් මණ්ඩලය සහ සෙනෙට් මණ්ඩලය රැස්ව සිටින විටයි ට්‍රම්ප්ගේ අනුගාමිකයින් කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණේ.

දෝෂාභියෝගයේ මීලඟ පියවර ලෙස ජනපති ට්‍රම්ප්ට එරෙහිව සෙනෙට් මණ්ඩලයේ විභාගයක් පැවැත්වෙන අතර, එහිදී එය තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත විය යුතුයි.

කෙසේ නමුත්, එය ජෝ බයිඩ්න් ජනාධිපති ධූරයේ දිවුරුම් දෙන ලබන 20 වැනිදාට පෙර සිදුනොවන්නේ ඊට පෙර සෙනෙට් මණ්ඩලය රැස් නොවීම හේතුවෙන්.

එමෙන්ම, එය සෙනෙට් මණ්ඩලයේ සම්මත වීම සඳහා රිපබ්ලිකන් සභිකයින් 17 දෙනෙකුවත් ඊට සහය පළ කළ යුතුයි.