රැපිඩ් ඇන්ටිජන් 100 කින් කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගනී

Thursday, 14 January 2021 - 8:44

%E0%B6%BB%E0%B7%90%E0%B6%B4%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A+100+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50,000 සීමාව ඉක්මවා ගියා.

ඒ, ඊයේ දිනයේදී නව ආසාදිතයින් හයසිය අනූ දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 50,229 ලෙසයි.

නව ආසාදිතයින් සමඟ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුර 46,457 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ වනවිට දිවයිනේ රෝහල් කිහිපයක තවදුරටත් වෛරසය ආසාදනය වූවන් 6715 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර, ඊයේ දිනයේදී 646 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 43,267 ක් වනවා.

මේ අතර, කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ 03 ක් ඊයේ දිනයේදී වාර්තා වුණා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 247 ක්.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එමෙන්ම බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 66 පුද්ගලයෙකු හෝමාගම මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩි වෛරසය ආසාදනය වීම නිසා උත්සන්න වූ හෘද රෝගි තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි  පුද්ගලයෙකුද ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී ජීවිතක්ෂයට පත් ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්ත්වය සහ ශ්වසන පද්ධතියේ උග්‍ර අසාදනය හේතුවෙන්.

කොවිඩ් වෛරසය ආරම්භයේ සිට මේ දක්වා  සිදු කර ඇති මුළු පී.සී.ආර්. පරීක්ෂණ ගණන 1,427,366 ක් වනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ දුර ගමන් සේවා සඳහා බස්රථ ආශ්‍රිතව සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණද තවදුරටත් සිදුකරන බවයි.

ඒ අනුව පෙරේදා සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 100 කින් කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම, බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11 කදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ තවදුරටත් සිදුකරන බවද ඔහු සඳහන් කළා.

මේ අතර, අදට යෙදෙන තෛපොංගල් උත්සවය නිවසේ සිටම සමරන ලෙස දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළා.   

මේ අතර, තමන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට කොවිඩ් 19 සඳහා දේශීය ඖෂධයක් ලබාදුන් බව රිටිගල පරපුරෙන් පැවත එන බව පවසන දේශීය වෛද්‍ය දේවින්ද ලක්ෂිත රණසිංහ පවසනවා.

කොවිඩ් ආසාදිතව නිරෝධායනයට ලක්ව සිටින රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර හිරු ප්‍රවෘත්ති අමතමින් සදහන් කළේ තමන්ට දේශීය ඖෂධයක් ලබාදුන් බවට සිදුකරන ප්‍රකාශය අසත්‍ය බවයි.