GMOA සභාපති පාදෙණියත් ස්වයං නිරෝධායනයට (වීඩියෝ)

Thursday, 14 January 2021 - 20:03

GMOA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%82+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 480 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 43,747 දක්වා ඉහළ ගියා.

එසේම, අද තවත් කොරෝනා ආසාදිතයින් 354 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 50,583ක්.

මේ අතර, ගාල්ල - තවලම සතිපොලේ පසුගිය 12 වැනිදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 89ක ප්‍රතිඵල අද ලැබී තිබූ අතර, එහිදී කොරෝනා ආසාදිතයින් 23 දෙනෙකු හඳුනාගෙන තිබුණා.

සබරගමුව පළාත් සභාවෙන්ද කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඉන් එක් අයෙක් එහි ආරක්ෂක නිලධාරියෙක්. මීට පෙරද ඉන් ආසාදිතයින් 04 දෙනෙකු වාර්තා වුණා.

මේ අකර, දැරණියගල - ඉලුක්තැන්නවත්තේ පසුගියදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 90කින් කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු හඳුනා ගැනුණා.

මෙතෙක් ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය සමාජගත වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඒ, මහනුවර දළඳා මාලිගාවට පැමිණ දළඳා සමිඳුන් වැඳපුදාගෙන, මල්වතු - අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර, මෙරට තුළ සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාවේ අඩුවීමක් සිදුව ඇති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ ආයතනයේ සභාපති රවී කුමුදේශ් ප්‍රකාශ කළා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ද ස්වයං නිරෝධායනයට යොමු වී තිබෙනවා.

ඒ, ඔහුගේ නිවසේ පසුගියදා පැවති රාත්‍රි භෝජන සංග්‍රහයකට සහභාගි වූ වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟයි.

මේ අතර, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයාගේ ලේකම්වරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය විෂබීජහරණය කිරීම සඳහා තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඊයේ දිනයේ පමණක් මෙලෙස එම කාර්යාලය තාවකාලිකව වසා දමා ඇති අතර, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයෙන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීමද ඊයේ සිදුකෙරුණා.

ඒ, අමාත්‍ය වාසුදේව නානායක්කාරට සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්ට වෛරසය ආසාදනය වීමෙන් අනතුරුවයි.

ඔවුන්ගේ ආශ්‍රිතයින් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනෙකුට ස්වයං නිරෝධායනයට යොමු වී පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරගන්නා ලෙස දැනුම් දුන්නා.

ඒ අනුව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් තමන් කොරෝනා ආසාදිතයෙකු නොවන බව තහවුරු වූ බවයි.

එසේම, තමන් ද කොරෝනා ආසාදිතයෙකු නොවන බවට තහවුරු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකද කියා සිටියා.

හෙට දිනයේද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේදී යළි පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරෙනවා.