දුර ගමන් දුම්රිය සේවා ලබන සඳුදා සිට යළි ඇරඹේ

Saturday, 16 January 2021 - 13:53

%E0%B6%AF%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ලබන සඳුදා (18) සිට දුරගමන් දුම්රිය සේවා නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය නිවේදනය කරනවා.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ කොළඹ කොටුවේ සිට මහනුවර සහ බදුල්ල දක්වා දුම්රිය ධාවනය සිදුකෙරෙනු ඇති.

උතුරු මාර්ගයේ ගල්කිස්ස සහ කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වාද, මඩකලපුව මාර්ගයේ කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා ද ධාවනය සිදුකිරීමට නියමිතයි.

එමෙන්ම, මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත දක්වා ද, දුරගමන් දුම්රිය සේවා ආරම්භ කෙරෙනවා.

මෙලෙස දුරගමන් දුම්රිය සේවා ආරම්භ වන්නේ පසුගිය මාර්තු මාසයේ කොරෝනා වසංගතය හමුවේ රට හුදකලා කිරීමෙන් පසුව වීම විශේෂත්වයක්.

මේ අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් දුර ගමන් සේවා බස් රථ ධාවනය කටයුතු පසුගියදා ආරම්භ වූ අතර එය සාමාන්‍ය පරිදි අඛන්ඩව සිදුකරන බව ගමනාගමන මණ්ඩලය සඳහන් කළා.

කෙසේ වෙතත් පෞද්ගලික බස් හිමියන් ප්‍රකාශ කරන්නේ පාඩු ලබන තත්ත්වයෙන් සිය සේවාව පවත්වාගෙන ගිය ද රජයෙන් ලබාදිය යුතු සහන මේ වනතෙක් ලැබී නොමැති බවයි.

ඊට විරෝධය පළ කරමින් ලබන සඳුදා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මීට පෙර තීරණය කර තිබුණා.

එහෙත් විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.