ඊයේ වැඩිම ආසාදිතයන් ගම්පහින් - කොළඹ කොරෝනා තත්වයේ පාලනයක් (වීඩියෝ)

Sunday, 17 January 2021 - 13:07

%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 04 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඊයේ සහ පෙරේදා සිදුකළ පී සී ආර් පරීක්ෂණවලින් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වීම මේ වන විට පාලනය වී ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා.

ඊයේ මෙරටින් වාර්තා වූ ආසාදිතයන් 719 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් එනම් 182 නෙකු වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයින් 152 නෙකු වාර්තා වී තිබෙනවා.

මහනුවරින් 75 දෙනෙකු, කළුතරින් 43 දෙනෙකු, මාතලේ දිස්ත්‍රික්කයෙන් 37 දෙනෙකු, පුත්තලමෙන් 22 නෙකු සහ ගාල්ලෙන් 20 දෙනෙකු ලෙස ඊයේ ආසාදිතයින් වාර්තා වී ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර, මීගමුව විවිධ සේවා සමූපකාරයේ ප්‍රධාන කාර්යාලයේ තවත් සේවකයින් 38 දෙනෙකුට ද කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා.

මීට පෙර එම කාර්යාලයෙන්  ආසාදිතයන් 5 දෙනෙකු හඳුනා ගැනීමෙන් පසුව තවත් සේවකයන් 140 දෙනෙකුට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී මෙම නව පිරිස හඳුනාගෙන ඇති බවයි මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය සඳහන් කළේ.

ගාල්ල - නෙළුව ප්‍රදේශයේ මීට පෙර හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයන්ගේ පවුල්වල සාමාජිකයන්ට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 100කින් 13 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට අද හඳුනා ගැනුණා.

ගාල්ල - හබරාදූව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයාටද කොරෝනා ආසාදනය වී ඇති අතර, ඔහුගේ පවුලේ සහ තවත් ආශ්‍රිතයන් පස්දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමුකළ බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

ඊයේ දිනය වන විට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 1667 දක්වා වැඩි වී ඇති බව දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් සම්බන්ධීකරණ කාර්යාලය ප්‍රකාශ කළා.

මේ දක්වා දකුණු පළාත තුළ කොරෝනා මරණ 6ක් සිදුව ඇති අතර ඉන් 4 දෙනෙකුම ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්.

මේ අතර, ඉඳුරුව - තුන්දූව නැගෙනහිර සහ තුන්දූව බටහිර ග්‍රාම නිලධාරී වසම් අද පෙරවරුවේ සිට හුදකලා බවින් නිදහස් කළ බව  යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.

එමෙන්ම මඩකලපුව - අරසඩි - 177  ග්‍රාම නිලධාරී වසමට මේ වන විට සංචරණ සීමා පනවා තිබෙනවා.

ඒ, එම ප්‍රදේශයෙන් තවත් ආසාදිතයන් 5 දෙනෙකු අලුතෙන් හඳුනා ගැනීමත් සමඟයි.

මේ අතර, බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල බෞද්ධ හා කතෝලික දහම් පාසල් අද සිට යළි විවෘත කළා.

ඒ, සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලවයි. කෙසේ වෙතත්, අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ දහම් පාසල් රැසක සිසු සිසුවියන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක පවතින බවයි.