දේවානි ජයතිලකට මාධ්‍ය තහනම්වෙයි (වීඩියෝ)

Tuesday, 09 February 2021 - 21:27

%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%A2%E0%B6%BA%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ආන්දෝලනයක්ට තුඩු දී ඇති ගම්පහ, දාරළුවේ පිහිටි කෲඩියා සෙලනිකා වර්ගයේ ශාකය සම්බන්ධයෙන් තීරණයක් ගනු ලබන්නේ විද්‍යාත්මක පදනමක් පමණක් මත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

මේ අතර මෙම ශාකය රැක ගැනීමේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් හඬ නැගූ ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියට මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන් වළකින ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

කෲඩියා සෙලනිකා නම් මෙම ශාකය වන සත්ත්ව හා වෘක්ෂලතා පනත යටතේ ආරක්ෂිත ශාකයක් ලෙස නම් කර තිබෙන්නේ, එය ලෝකයෙන් වඳවීයාමේ තර්ජනයට මුහුණ දී ඇති බවට හඳුනා ගැනීම හේතුවෙන්.

නමුත් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ගම්පහ දාරළුව ප්‍රදේශයෙන් එම ශාකය ඉවත් කර වෙනත් ස්ථානයක රෝපණය කිරීමට ඉදිරිපත් වූ යෝජනාවත් සමඟ මෙම ශාකය සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතු වුනා.

කෙසේ වෙතත් ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියගේ මැදිහත්වීම මත පසුගිය දිනෙක මෙම උත්සාහය වැලැකී ගොස් තිබුණා.

මේ අතර වන ජීවි හා වන සංරක්ෂන අමාත්‍යංශය ලේකම් බන්දුල හරිෂ්චන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් අද එම ගස පිහිටි ප්‍රදේශයේ නිරීක්ෂණයක නිරත වුණා

එම අවස්ථාවේදී ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාද එම ස්ථානයට පැමිණියා.

කෙසේ වෙතත් ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ඇති සූදානමක් පිළිබඳ වාර්තා පළ වී තිබුණා.

ඒ පිළිබඳ විමසීමේදී ඇය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් නොකරන ලෙස ගම්පහ දිස්ත්‍රික් අඩවි වන නිලධාරී කාර්යාලයෙන් තමන්ට දැනුම් දී ඇති බවයි.

කෙසේ වෙතත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ.එම් ඒ බන්ඩාර මහතා පැවසුවේ අදාළ නිලධාරිනිය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට මෙතෙක් තීරණය කර නොමැති බවයි.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ද මේ සම්බන්ධයෙන් අදහස් පළවුණා.

කෲඩියා සෙලනිකා ශාකය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.