පාස්කු වාර්තාව කැබිනට් මණ්ඩලයට (වීඩියෝ)

Tuesday, 23 February 2021 - 12:52

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
දණ්ඩනීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අපරාධ නඩු පැවරීමට නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව පාස්කු ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබෙනවා.

එමෙන්ම, අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ පස්වරුවේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අතර, එය පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කිරීමට නියමිතයි.  

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පසුගිය පළවනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාර දුන්නා.

අනතුරුව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් සය පුද්ගල අමාත්‍ය අනුකමිටුවක් මෙම කොමිෂන් සභා වාර්තාව අධ්‍යයන කිරීම සඳහා පත් කරනු ලැබුවා.

මෙම කමිටුව පත් කෙරුණේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් තමන්ට ද මෙම කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබූ පසුබිමක වීම විශේෂත්වයක්.

මේ අතර, උන්වහන්සේ ඊයේ තීරණය කර තිබුණේ අවසන් වාර්තාවේ පිටපතක් තමාට ලැබෙනතෙක් කිසිදු දේශපාලනඥයෙකු හමු නොවීමටයි.

මෙවන් පසුබිමක ඊයේ පස්වරුවේ මෙම වාර්තාව පිළිබඳව අධ්‍යයනයට පත් කළ අමාත්‍ය අනුකමිටුව ජනාධිපති කාර්යාලයේදී රැස්වුණා. එමෙන්ම, මෙම පාස්කු කොමිසම් වාර්තාව ඊයේ කැබිනට් මණ්ඩලය වෙත ද ඉදිරිපත් කළා.  

මේ අතර, ආරංචි මාර්ග සඳහන් කළේ පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන පිරිසට නඩු පැවරීමට ප්‍රතිපාදන තිබේදැයි සොයා බැලීම සඳහා නීතිපතිවරයාට යොමුකරන්නැයි එම වාර්තාවෙන් නිර්දේශ කර ඇති බවයි.

මෙවැනි සිදුවීම් ඉදිරියට නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග ද ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇති අතර, එම සියලු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයාට හැකියාව පවතින බව ද අවසන් වාර්තාවේ දක්වා ඇතැයි ද ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2019 අප්‍රේල් 16 සිට 21 වනදා දක්වා ඉන්දියාවට සහ සිංගප්පූරුවට යන අවස්ථාවේදී ආරක්ෂක අමාත්‍ය ධුරය සඳහා කිසිදු වැඩබලන පත්වීමක් ලබා නොදීම සම්බන්ධයෙන් ද එහි කරුණු ඇතුළත්.

ප්‍රහාරය පිලිබඳව දැනුවත් භාවයක් සහිතවම එය සිදුකිරීම තුලින් චේතනාන්විතව සහරාන්ගේ අයි.එස්. තර්ජනයට මඟ පෑදු බවත් එයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත් වාර්තාවේ දැක්වෙන බව ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වැඩබලන පත්වීමක් සිදුකිරීමට ජනාධිපතිවරයාට අභිමතයක් පවතින බවට සැකයක් නැති බවත්, එහෙත් අවස්ථාපිත තත්ත්වය අනුව ඔහුට එසේ කිරීමට වගකීමක් පැවතුණ බවත් කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන්.

සාක්ෂි මත පදනම්ව ඉහත විස්තර කර ඇති ක්‍රියාවන් හෝ අතපසු කිරීම් සම්බන්ධයෙන් ඔහුගේ පාර්ශවයේ සාපරාධි වගකීමක් ඇති බව පරීක්ෂණ කොමිෂන් සභාවේ අනුමැතිය වී තිබෙනවා.

ඒ අනුව, දණ්ඩනීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව නඩු පැවරිය හැකි බව නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවට පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා.