වෛරසයේ පාලනයක් නැතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි

Tuesday, 23 February 2021 - 19:49

%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මෙරට කොරෝනා වෛරසය පාලනය වි නොමැති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ මේ බව කියා සිටියේ ජා-ඇල ප්‍රදේශයේ පැවති උත්සවශාලා හිමියන්ගේ සහ ආහාර පාන සපයන්නන්ගේ සංගමයේ නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මෙරට කොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් දත්ත විශ්ලේෂණයක් ද සිදුනොවන බවයි.

කොළඹ මහ නගර සීමාවේ පුද්ගලයින් සඳහා දියත් කෙරෙන එන්නත්කරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නත ලබා දීම අද මධ්‍යස්ථාන 5කදී සිදුවුණා.

එහිදී පුද්ගලයින් 4500කට පමණ එන්නත් ලබා දී තිබෙනවා.

මෙම වැඩසටහන යටතේ ඊයේ කොළඹ මහනගර සභා සීමාවේ පුද්ගලයින් 7400කට පමණ කොවිඩ් මර්දන එන්නත් ලබා දී ඇති බවයි වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියේ.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි කොවිඩ් ආසාදනය වී සුවය ලැබීමෙන් පසු අද ප්‍රථමවරට සෞඛ්‍ය අමාත්‍යංශයේදී සාකච්ඡාවකට එක්වුණා.

වෛරස මර්ධන වැඩපිළිවෙලෙහි ප්‍රගතිය පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

කොරෝනා ආසාදිතව සිටි තවත් 732 දෙනෙකු අද දිනයේදීත් සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 75,842 ක් වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 4,225 දෙනෙකු වනවා.

අද දිනයේදී නව කොරෝනා ආසාදිතයින් 222 ක් හඳුනා ගැනීමත් සමඟ මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයන් ගණන 80,739 ක් දක්වා ඉහළ ගියා.

සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 450 ක් ලෙසයි.