ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමයෙන් රතු එළියක්

Tuesday, 23 February 2021 - 19:58

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සිය ඉල්ලීම්වලට විසඳුම් නොලැබීම නිසා දින 14 කින් පසු අඛන්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියන් කියා සිටියේ අද පැවති විරෝධතාවයෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ පැවති සාකච්ඡාව අසාර්ථක බවයි.

දීමනා ගෙවීම සහ සේවා ස්ථිර කිරීම ඇතුළු ඉල්ලීම් 11 ක් මුල් කර ගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය අද පස්වරුවේ කොළඹ ජාතික රෝහල අසල සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා විරෝධතා පාගමනින් පැමිණියා.

මෙම විරෝධතාවය හේතුවෙන් කොළඹ පුරහල අවට දැඩි රථවාහන තදබදයක් හට ගත් අතර විරෝධතාකරුවන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිශ්‍රයට ඇතුළුවීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ද හට ගත් බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

පසුව, විරෝධතාකරුවන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරින් සමග සාකච්ඡාවක් ලබාදුන්නා.

එම සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා එක්වුණා.

එහිදී සිය ඉල්ලීම් සඳහා නිෂ්චිත විසඳුම් ලිඛිතව ලබා නොදීම හේතුවෙන් සාකච්ඡාව අසාර්ථක බවයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සඳහන් කළේ.

ඒ අනුව, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සහ තවත් ක්ෂේත්‍රයන් එක්ව ඉදිරි දින 14 කින් පසු අඛන්ඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව එහි ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.