සෞදියේ කිරුළ හිමි සල්මාන් කුමරු කශෝගි ඝාතනය අනුමත කළ බව අමෙරිකානු බුද්ධි අංශ වාර්තාවකින් හෙළිවෙයි

Saturday, 27 February 2021 - 6:49

%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%85+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%81%E0%B7%9D%E0%B6%9C%E0%B7%92+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B6%AD+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%80+%E0%B6%85%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%85%E0%B6%82%E0%B7%81+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය සෞදි අරාබියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් විසින් අනුමත කරන ලද බව අමෙරිකානු බුද්ධි අංශ වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා.

 2018 වසරේදී සෞදි මාධ්‍යවේදී කශෝගි ඝාතනයට ලක්වූයේ තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට පැමිණි අවස්ථාවේදීයි.

එහිදී ඔහුගේ සිරුර කැබලිවලට කපා රසායනික ද්‍රව්‍යයක දිය කළ බවට තොරතුරු හෙළි වුණා.

අමෙරිකානු බුද්ධි අංශ සකස් කළ වාර්තාවේ දැක්වෙන්නේ මාධ්‍යවේදී කශෝගි අල්වා ගැනීමට හෝ ඝාතනය කිරීමට සල්මාන් කුමරු අනුමැතිය ලබාදී තිබූ බවයි.

ඒ සඳහා ක්‍රියාත්මක වූ සෞදි කණ්ඩායමට සෞදි රජය විසින් පසුව දඬුවම් පැමිණවූයේ ජාත්‍යන්තරයෙන් විවේචන එල්ල වීමත් සමඟයි.

කෙසේ නමුත්, ඔවුන්ට ලබාදුන් මරණ දඬුවම් මේ වනවිට විසි වසරක සිරදඬුවම් දක්වා අඩු කර තිබෙනවා.

අමෙරිකානු බුද්ධි අංශ වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞදි අරාබි රජය ප්‍රකාශ කළේ කශෝගි ඝාතනයට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් පමුණුවා තිබියදී ඒ පිළිබඳව සල්මාන් කුමරුට චෝදනා නැගීම පිළිගත නොහැකි කරුණක් බවයි.

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මොහොමඩ් බින් සල්මාන් කුමරු සමඟ සමීප සබඳතාවක් පැවැත් වූ අතර, ඔහු සමඟ අවි ගණුදෙනු රැසකට සම්බන්ධ වුණා.

ඒ අනුව අමෙරිකානු බුද්ධි අංශ වාර්තාව ඔහුගේ පාලන සමයේ එළිදැක්වූයේ නැහැ.

එය වත්මන් ජනපති ජෝ බයිඩ්න්ගේ පරිපාලනය විසින් ප්‍රකාශයට පත් කිරීම අමෙරිකාව සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට හානිකර විය හැකි බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.