බෑගයකින් හමුවූ තරුණියගේ සිරුර ගැන DNA පරීක්ෂණයක් - හිස ගමන් බෑගයේ දැයි සැක (වීඩියෝ)

Wednesday, 03 March 2021 - 19:46

%E0%B6%B6%E0%B7%91%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+DNA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%84%E0%B7%92%E0%B7%83+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%91%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


වේල්ල වීදියේ බෑගයකින් සොයා ගත් තරුණියගේ මළ සිරුරේ අනන්‍යතාව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා ඩී.එන්.ඒ පරීක්ෂණයක් සිදුකිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

ඊට හේතුවී ඇත්තේ ඇගේ හිස කොටස මෙතෙක් සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන්.

ඒ අනුව, එම සිරුරේ සහ ඇයගේ මවගේ ඩී.එන්.ඒ සාම්පල අද ලබා ගැණුනා.

ඒවා සැසදීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු හෙට සිදු කෙරෙන බවයි පොලීසිය පැවසුවේ.

පසුගිය සඳුදා වේල්ලවීථිය ප්‍රදේශයේ ගමන් මල්ලක තිබී හමුවූ හිස නොමැති මළ සිරුර කුරුවිට - තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක තරුණියකගේ බවට ඊයේ හඳුනා ගැණුනා.

සී.සී.ටී.වී දර්ශන ඔස්සේ සැකකරු පිළිබඳ තොරතුරු රැසක් අනාවරණ වූ අතර පසුව හෙළි වුණේ ඔහු බුත්තල පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු බවයි.

උප පොලිස් පරීක්ෂකවරයා හංවැල්ල ප්‍රදේශයේ දෙදෙනා නැවතී සිටි තානායමේ සිට හංවැල්ල බස් නැවතුම්පළට රැගෙන ආ ත්‍රීරෝද රථයේ රියදුරුගෙන් ද කරුණු රැසක් පොලීසිය අනාවරණ කර ගත්තා.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා හංවැල්ල නගරයේ වෙළඳසැලකින් තරුණිය ඝාතනය කිරීම සඳහා යොදා ගත් බවට සැක කෙරෙන පිහියක් ද මිලදී ගෙන ඇති බවට සී.සී.ටී.වී දර්ශනවල සටහන් වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ උප පොලිස් පරීක්ෂකවරයා ඝාතනය සිදුකර ඔවුන් සිටි කාමරය සම්පූර්ණයෙන් පිරිසිදු කර ඉන් පිටව ගොස් ඇති බවයි.

එමෙන්ම තරුණිය මියගිය පසු මළ සිරුර සම්පූර්ණයෙන්ම පිරිසිදු කර ඇති බවද පොලිසිය සඳහන් කළා.

බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි මෙම උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය මෙහෙයුම් ක්‍රියාත්මක කළත් අද උදෑසන ගෙළ වැළලාගෙන සියදිවි නසා ගත් ඔහුගේ සිරුර සොයා ගැණුනා.

ඒ නිවස ආසන්නයේ පිහිටි කැලෑබද පෙදෙසකින්. එම ස්ථානයේ තිබී වස බෝතලයක් ද සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

ඔහු බුත්තල පොලිස් ස්ථානයේ කොරෝනා මර්දන අංශයේ ප්‍රධානියා ලෙස රාජකාරි සිදු කර තිබෙනවා.

තුන් මසකට පෙර අභාවප්‍රාප්ත වූ තම මවගේ දානමය පිංකම සඳහා දින 6ක නිවාඩුවක් ලබාගෙන නිවසට පැමිණ සිටි අවස්ථාවේදීයි ඔහු මෙම අපරාධය සිදු කර සියදිවි නසාගෙන ඇත්තේ.

තුන්දරු පියෙකු වන මොහු ඇමති ආරක්ෂක අංශයේද සේවය කර ඇති අතර බුත්තල පොලිසියට අනුයුක්ත වීමට පෙර රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ගේ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කර තිබුණා.

මෙම උප පොලිස් පරීක්ෂකවරයා ඝාතනය සිදුකොට නිවසට පැමිණීමෙන් පසු සියදිවි හානි කර ගැනීමට පෙර බිරිඳට ලිපියක් ලියා තිබුණා.

කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ 30 හැවිරිදි මෙම තරුණිය ජීවත්ව ඇත්තේ සිය මව සමඟයි.

මියගිය තරුණිය හේෂා විතානගේ මන්ත්‍රීවරයාගේ ඡන්ද ව්‍යාපාරය සඳහා සහයෝගය දක්වා ඇති අතර ඇයගේ සොහොයුරාද කුරුවිට ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනවා.

පසුගිය 28 වනදා ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් පැවැත්වෙන දන්සැලකට සහය දැක්වීම සඳහා බව පවසමින් දියණිය නිවෙසින් පිටව ගිය බවයි මව සඳහන් කළේ.

මියගිය තරුණියගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ඇයගේ ඥාතීන් අද දහවල් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට පැමිණ තිබුණා.

තවමත් තරුණියගේ හිස කොටස සොයා ගැනීමට නොහැකි වී ඇති අතර, පොලිසිය සඳහන් කළේ සී.සී.ටී.වි. දර්ශන වල දැක්වෙන පරිදි උප පොලිස් පරීක්ෂකවරයාගේ කරේ පිටුපස එල්ලාගෙන යන බෑගයේ දමා රැගෙන යන්නට ඇති බවට සැක කෙරෙන බවයි.