තරුණිය ඝාතනය කළ බුත්තල එස්.අයි.නිවසේ ළිඳට කැමරාවක් - කොළඹිනුත් කණ්ඩායමක් පිටත් වෙයි (වීඩියෝ)

Friday, 05 March 2021 - 19:12

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%9A+%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
වේල්ලවීදියේ බෑගයකින් හමුවූ තරුණියගේ මළ සිරුරේ, හිස කොටස සොයා අද දෙවන දිනටත් විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වනවා.

ඒ, කැළණි ගඟ සහ දිවි නසා ගත් උපපොලිස් පරීක්ෂකවරයාගේ බඩල්කුඹුර ප්‍රදේශයේ පිහිටි නිවස ආශ්‍රිතවයි.

අදාළ තරුණිය ඝාතනය කළ උප පොලිස් පරීක්ෂකවරයා නිවසට පැමිණෙන විට රැගෙන ආ ගමන් මල්ල තවමත් අතුරුදන්වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරනවා.

විමර්ශන සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් අද කොළඹින්, බුත්තලට පිටත්ව ගියා.

සැකකාර දිවි නසා ගත් උප පොලිස් පරීක්ෂකවරයා සහ ඝාතනයට ලක්වූ තරුණිය හංවැල්ල ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන් ගෙන තිබූ බවට අනාවරණ වූ අතර ඇය එහිදී ඝාතනය වන්නට ඇති බවටයි මේ වනවිට තොරතුරු ලැබී ඇත්තේ.

කෙසේ වෙතත්, තවමත් මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා නැහැ.

අදාළ ලැගුම්හලින් ඝාතකයා පිටව යන අවස්ථාවේ අතේ රැගෙන යන ගමන් බෑගය සහ පිටේ එල්ලාගෙන යනු ලබන බෑගයක් ද පැවති ආකාරය විවිධ ස්ථානවලදී ලබා ගත් සී.සී.ටී.වී දර්ශන මගින් තහවුරු වුණා.

කෙසේ වෙතත්, පොලීසියේ පැවසුවේ ලැගුම්හලට පැමිණ ඝාතනයට ලක්වූ කාන්තාව සතුව පැවති තවත් බෑගයක් ද තවමත් අතුරුදන්ව ඇති බවයි.

ඝාතනය කළ තරුණියගේ හිස එම බෑගය තුල බහා ලැගුම්හල ආසන්නයෙන් ගලා බසින කැළණි ගඟට විසිකර ඇති බවට මතු වූ සැකය මත කැළණි ගං ඉවුර දෙපස ඊයේ මෙන්ම අද දිනයේදීත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා.

ඒ අනුව අද දිනයේත් අඹතලේ ප්‍රදේශයේ සිට තොටලග නව කැළණි පාලම දක්වා වූ ගං ඉවුර දෙපස සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකළ පොලීසිය සැකකරු සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.

ඔහු කාන්තා මළ සිරුර සහිත බෑගය වේල්ල වීදියේ දමා පස්වරු 4.10 ට පමණ මොනරාගල - කොළඹ බස් රථයකට ගොඩවන ආකාරය සී.සී.ටී.වී කැමරාවල සටහන්ව තිබුණා.

මේ අතර, අදාළ උප පොලිස් පරීක්ෂකවරයා කරේ එල්ලා ගත් බෑගයක් රැගෙනවිත් ඇති බවට අනාවරණ වී ඇති කරුණු අනුව ඝාතනයට ලක්වූ තරුණියගේ හිස එම බෑගයේ දමාගෙන පැමිණ ඇති බවට ද සැක කෙරෙනවා.

එම සැකය මත ඝාතකයාගේ නිවස හා ඒ අවට විශේෂ සෝදිසියක් අද ක්‍රියාත්මක කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඔහු බුත්තල සිට මිතුරෙකු සමඟ යතුරුපැදියකින් නිවසට පැමිණ ඇති බවට ද වාර්තා වනවා.

එම සෝදිසිය අතරතුර සැකකරු නිවසට පැමිණි අවස්ථාවේ ඇද සිටි බවට සැලකෙන කමිසයක් නිවස පිටුපස පුළුස්සා දමා තිබියදී පොලීසිය සොයා ගත්තා.

එම කමිසය සිය පියාගේ බවට ඔහුගේ දියණිය විසින් හඳුනා ගත් බවයි උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

පිලිස්සුනු එම කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට ද නියමිතයි.

එසේම, සැකකරුගේ නිවස ආසන්නයේ පිහිටි ළිඳේ ජලය ඉවත් කර එය තවදුරටත් විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමටයි පොලීසිය සූදානම් වනවා.

ඊට පෙර විශේෂ කැමරාවක් ළිඳ තුලට යොමුකර හිස කොටස එහි තිබේදැයි පරීක්ෂා කළා.  

මේ අතර ඝාතනයට ලක්වූ තරුණියගේ සොහොයුරා කුරුවිට ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන නිසා, පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ද තෙප්පනාව ප්‍රදේශයේ පිහිටි මියගිය තරුණියගේ නිවසට ඊයේ පස්වරුවේ පැමිණ තිබුණා.