දංකොටුවේ පොල්තෙල් බවුසර් වලත් පිළිකාකාරක අඩංගු බව තහවුරු වෙයි (වීඩියෝ)

Thursday, 08 April 2021 - 15:53

%E0%B6%AF%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B7%94%E0%B7%83%E0%B6%BB%E0%B7%8A+%E0%B7%80%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B6%E0%B7%80+%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
දංකොටුව ප්‍රදේශයෙන් පසුගියදා සොයා ගන්නා ලද සැක සහිත පොල්තෙල් බවුසර් දෙකෙහි අඩංගු පොල්තෙල්වල පිළිකාකාරක ඇෆ්ලටොක්සීන් අඩංගු බව තහවුරු වී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා සඳහන් කළා. ඒ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සිදුකළ පරීක්ෂණය අනුවයි.

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය වෙත යොමුකළ අදාළ පොල්තෙල් සාම්පල වල වාර්තා ද අපේක්ෂාවෙන් සිටින බව රේගුව ප්‍රකාශ කළා.

දංකොටුව නගරයට ආසන්න තෙල් මෝලක තිබී පසුගිය 28 වනදා මෙම පොල්තෙල් අඩංගු බවුසර් දෙක සොයාගත් අතර ඒවායේ පොල්තෙල් ලීටර් 55,000 අඩංගු වුණා.

කෙසේ වෙතත්, රේගුව විසින් මීට පෙර ප්‍රකාශ කළේ පිළිකා කාරක පොල්තෙල් අඩංගු බහාලුම් වෙළඳපොලට නිකුත් වී නොමැති බවයි.

ඒවා ආනයනකරුවන්ගේ ගුදම්වල මුද්‍රා තබා තම අධීක්ෂණය යටතේ තිබෙන බව රේගුව ප්‍රකාශ කර තිබුණා. එවන් පසුබිමකයි දංකොටුවේ තිබී සොයා ගත් පොල්තෙල් වල පිළිකා කාරක අඩංගු බවට මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

මේ අතර, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් සිද්ධිකා සේනාරත්නගේ ප්‍රකාශයට විරෝධය පළ කරමින් පරපුරක බලය සංවිධානය අද ප්‍රමිති ආයතනය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

එමෙන්ම, සිංහල රාවය සංවිධානය පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ ඇයගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසයි.

පිළිකා කාරක අඩංගු පොල්තෙල් වෙළඳපොලට මුදා හැර ඇති බවට මුල් වරට හිරු ප්‍රවෘත්ති අංශය මගින් අනාවරණ කළේ සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින් කළ කරුණු දැක්වීම් පදනම් කර ගනිමින්.

දංකොටුවෙන් හමුවූ බවුසර්වල තිබූ පොල්තෙල් වල පිලිකා කාරක අඩංගුව ඇති බවට තහවුරු වීමත් සමඟ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ එම සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා කියා සිටියේ ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය සිදුකළ ප්‍රකාශය මේ වනවිට සත්‍යයක් වී ඇති බවයි.

මේ අතර, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේ රජය විසින් පාම් ඔයිල් තහනම් කිරීම නිසා තම නිෂ්පාදන කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම අපහසු බවයි.

කෙසේ වෙතත්, වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට තීරණය කළේ පාම් ඔයිල් පරිභෝජනය මහජන සෞඛ්‍යයට හානිකර බැවින් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

පාම් ඔයිල් භාවිතයෙන් සැකසූ ආහාර වර්ග පරිභෝජනය ප්‍රධාන පෙලේ රෝග කාරකයක් බව වෛද්‍ය හා ආහාර විශේෂඥයින් විසින් විටින් විට පෙන්වා දී තිබුණා. එසේ වුව ද සම්මත ප්‍රමිතියෙන් යුත් පාම් ඔයිල් ප්‍රභේද, බිස්කට්, රසකැවිලි සහ ඇතැම් පාන් වර්ග නිෂ්පාදනය සඳහා භාවිතා කෙරෙනවා.

වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු කලින් බරපතල විවේචනයට ලක්ව තිබූ එතනෝල් ආනයනය මුළුමනින්ම නතර කරනු ලැබුවා.

එහෙත් සායනික අවශ්‍යතා සඳහා එතනෝල් ආනයනයට ඉඩ ලබාදී ඇති අතර පාම් ස්ටියරින් ගෙන්වීමට ඇති අවසරය ද එබඳු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ.