කුම්බමේලා නිමවේ - ලක්ෂ 70ක හින්දු බැතිමතුන් ගංඟා දියේ පව් සෝදයි

Saturday, 01 May 2021 - 13:36

%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B8%E0%B7%9A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+70%E0%B6%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%82%E0%B6%9F%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%80%E0%B7%8A+%E0%B7%83%E0%B7%9D%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
‘ගංඟා’ නදියේ දිය නා, පව් සෝදා හැර මෝක්ෂය පතන ඉන්දියාවේ කුම්බමේලා සැණකෙලිය ඊයේ නිමාවට පත් වුණා. ඒ සඳහා කොරෝනා වසංගත තත්ත්වය නොතකා හින්දු බැතිමතුන් ලක්ෂ 70ක් සහභාගි වී ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

මොවුන්ගෙන් ලක්ෂ 2කට පමණ කොරෝනා පරීක්ෂණ සිදුකර ඇති අතර ඉන් 2600ක් ආසාදිතයින් ලෙස තහවුරු වී තිබෙනවා.

මේ අතර ඉන්දියාවේ වයස අවුරුදු 18ට වැඩි සියළුම වැඩිහිටියන්ට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම අද ආරම්භ කෙරුණා.

ඉන්දියාවේ එන්නත්කරණ වැඩසටහන මෙලෙස සියළු වැඩිහිටියන් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙන්නේ එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව මිලියන 19 ඉක්මවා ඇති පසුබිමකයි.

අවුරුදු 18ත්, 45ත් අතර මිලියන 13කට අධික පිරිසක් දැනටමත් කොරෝනා එන්නත් ලබා ගැනීම සඳහා ලියාපදිංචි වී සිටින නමුත් ප්‍රාන්ත රජයන් පවසන්නේ ප්‍රමාණවත් එන්නත් මාත්‍රා නොමැති බැවින් එන්නත්කරණ කටයුතු ආරම්භ කළ නොහැකි බවයි.

එමෙන්ම, ඉන්දියාවේ සිට පැමිණෙන සංචාරකයින්ට සීමා පැනවීමට ඇමරිකාව ද පියවර ගත්තා.

ඒ අනුව දින 14ක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කළ හෝ එරට රැදී සිටි පුද්ගලයින්ට මැයි 4 වන දා සිට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර, ඇමරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය අද හිමිවුණා.

ඒ අනුව වයස අවුරුදු 18 සහ ඊට වැඩි අයට එම එන්නත ලබාදීමේ හැකියාව පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ.

එමෙන්ම කොවැක්ස් පහසුකම යටතේ අදාළ එන්නත අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට බෙදාහැරීමේ හැකියාවද පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

මෙලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවූ පස්වන එන්නත මෙය වනවා.