ඇවිලෙන ගාසා තීරය

Monday, 17 May 2021 - 20:12

%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8F+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%BA
ඊශ්‍රායලය, ගාසා තීරයේ උමං මාර්ග ඉලක්ක කර රොකට් ප්‍රහාර ගණනාවක් එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එමෙන්ම පලස්තීනයේ රජයේ කාර්යාල සහ විදුලිය, යටිතල පහසුකම්වලටද ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ. එමෙන්ම ගාසා හි ජබාලියා සරණාගත කඳවුරටද ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මධ්‍යධරනී මුහුදට නැගෙහිරින් පිහිටා ඇති ලොව ඇති එකම යුදෙව් රාජ්‍යය වන්නේ ඊශ්‍රායලයයි.

පලස්තීනුවන් ලෙස හැඳින්වෙන අරාබි ජනයා පවසන්නේ යුදෙව්වන් ඊශ්‍රායලය කියා හඳුන්වන දේශය සත්‍යවශයෙන්ම අයත් වන්නේ ඔවුන්ට බවයි.

කෙසේ වෙතත් එම සම්පූර්ණ බිමේ හෝ ඉන් කොටසක පලස්තීනය වෙනුවෙන් වෙනම ස්වාධීන රාජ්‍යයක් පිහිටුවන්නට ඔවුන්ට අවශ්‍යතාව තිබෙනවා.

මෙම භූමිය අයිති කාටද සහ පාලනය කරන්නේ කවුරුන්ද යන කාරණා සම්බන්ධයෙන් අළු යට ගිණි මෙන් ඇවිලෙන ඊශ්‍රායල - පලස්තීන අර්බුදය ලෙස හඳුන්වන්නේ මෙම ගැටුමයි.

පසුගිය සඳුදා සිට යළි ආරම්භ වූ ගාසා තීරයේ ගැටුම්වලදී ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 200 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් 58 දෙනෙකුම කුඩා දරුවන්.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කර ඇත්තේ තමා පලස්තීනයේ හමාස් සංවිධානයට එරෙහි හමුදා මෙහෙයුම් අඛන්ඩව ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර ඊශ්‍රායලයට එරෙහිව යෝජනාවක් සම්මත කරන ලෙස පලස්තීන අග්‍රාමාත්‍ය මොහොමඩ් ෂේටියා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එමෙන්ම ඊශ්‍රායලය මනුෂ්‍යත්වයට එරෙහිව සිදුකරන අපරාධ සහ යුදමය අපරාධවලට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් ශක්තිමත් ප්‍රතිචාර දක්වන්නැයි ඉරානයද එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය තවමත් ඊශ්‍රායලය මානුෂිය අපරාධ සිදුකරන බවට පිළිනොගැනීම පිළිබඳ ඉරානය දැඩි කණස්සල්ල පළ කර තිබෙනවා.  

පලස්තීනය තුළ ශ්‍රී ලාංකිකයින් 30 දෙනෙකු පමණ රැඳී සිටින අතර, ගාසා තීරයේ පදිංචිව සිටින්නේ දෙදෙනෙකු පමණයි.

ඉන් එක් අයෙකු වන 43 හැවිරිදි සිත්ති සුහයිනා ලුක්මාන් කෑගල්ල - බුලත්කොහුපිටිය ප්‍රදේශයේ උපන් කාන්තාවක්. පලස්තීන වැසියෙකු සමඟ විවාහ වී දරුවන් පස්දෙනෙකුගේ මවක් වන ඇය සිය පවුලේ සාමාජිකයින් සමඟ මේ වනවිට ගාසා තීරයේ නිවසක රැඳී සිටිනවා.

මේ අතර ලංකා සමසමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඊශ්‍රායල පලස්තීන ගැටුම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඊශ්‍රායලය ජෙරුසලමේ පලස්තීනුවන්ට එරෙහිව දිගින් දිගටම සිදුකරන ආක්‍රමණ සහ පහරදීම් දැඩි ලෙස හෙළා දකින බවයි.

ඊශ්‍රායලය ජාත්‍යන්තර මානුෂිය නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන අතර, ඒවා හෙළා දැකීමට කිසිදු ජාත්‍යන්තර ආයතනයක් මැදිහත් වන ආකාරයක් මේ දක්වා නොපෙනෙන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.