ඇඟලුම් කර්මාන්තශාලාවල, කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක් (වීඩියෝ)

Tuesday, 18 May 2021 - 19:44

%E0%B6%87%E0%B6%9F%E0%B6%BD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%2C+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කර්මාන්තශාලා ආශ්‍රිතව යළිත් කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තාවන බවට සෞඛ්‍ය අංශ පවසනවා.

කෙසේ වෙතත් කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ආසාදිතයන්ගේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බවයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි කියා සිටියේ.

පානදුර ප්‍රදේශයේ ඇඟළුම් කම්හලකින් කොරෝනා ආසාදිතයන් 450 දෙනෙකු මේ දක්වා වාර්තාවී තිබෙනවා.

ඒ, එම කර්මාන්තශාලාවේ  සේවය කරන 2,500 කුට සිදුකළ කොරෝනා පරීක්ෂණවලදියි. ඒ හේතුවෙන් අදාළ කර්මාන්තශාලාව වසා දැමීමට උපදෙස් ලබාදුන් බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

මේ අතර කුරුණෑගල - බෝයගනේ ප්‍රදේශයේ ඇඟළුම් කම්හලකින්ද ආසාදිතයන් 18 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඊයේ දිනයේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 60 දෙනෙකු  වාර්තාවී තිබූ අතර, ඉන් 28 දෙනෙකුම කුරුණෑගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තාවී තිබුණා.

මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ කොරෝනා ආසාදිත රෝගීන් සඳහා වෙන් කළ වාට්ටු සියල්ල පිරී ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.  

මේ අතර මුලතිව් දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තාවූ ආසාදිතයන් 255 න් ආසාදිතයන් 254  දෙනෙකුම පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබූ අතර, ඉන් බහුතරය එම ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක සිදුකළ අහඹු කොරෝනා පරීක්ෂාවකදී හඳුනාගෙන ඇති බවයි වාර්තාවන්නේ.

 
එමෙන්ම මධ්‍යම පළාතෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 14,486 දෙනෙකු වාර්තාවී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිහාල් වීරසූරිය ප්‍රකාශ කළා. ඉන් 7,896 දෙනෙකුම වාර්තාවන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙන්.

මේ අතර, කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවලට අමතරව දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින්ද ආසාදිතයන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය හංසමාල් වීරසූරිය සඳහන් කළේ තදාසන්න ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශ මේ වනවිට රතු කලාප බවට පත්ව ඇති බවයි.

මේ අතර කළුතර - නාගොඩ මහ රෝහලෙන් පලාගිය කොරෝනා ආසාදිත රෝගියෙකු බේරුවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බේරුවල පරණ කඩේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ සිටියදියි. 21 හැවිරිදි අදාළ තරුණයා යළි ප්‍රතිකාර සඳහා නාගොඩ මහ රෝහලට රැගෙන ගියා.

එමෙන්ම කොරෝනා ආසාදිතව අම්පාර - දමන ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන මව සමඟ සිටින අවුරුද්දක් වයසැති බිළිඳෙකුගේ අදට යෙදුණු උපන් දිනය සැමරීමට වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කටයුතු කිරීමේ පුවතක්ද හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා.