බ්‍රිතාන්‍ය රජ පවුලට දූ කුමරියක්

Monday, 07 June 2021 - 8:06

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A2+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AF%E0%B7%96+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාකල්ට දූ කුමරියක් බිහිවී තිබෙනවා.

සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය ලෙසද හැඳින්වෙන ඔවුන්ගේ දෙවන දරුවා වන ඇය, නම් කර ඇත්තේ ලිලිබට් ඩයනා මවුන්ට්බැට්න් වින්ඩ්සර් ලෙසයි.

හැරී සහ මේගන්ගේ දූ කුමරිය ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා හි සැන්ටා - බාබරා  රෝහලේදී මෙලෙස උපත ලබා ඇති අතර, මව සහ දියණිය හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි වාර්තාවන්නේ.

බ්‍රිතාන්‍යය රජ පවුලේ වගකීම්වලින් ඉවත්වූ හැරී කුමරු, මේගන් මාකල් සමඟ ඇය උපන් ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත්වනවා.

ඔවුන් සිය දූ කුමරියට නම් තැබීමේදී ලිලිබට් යන්න යොදාගෙන ඇත්තේ දෙවන එලිසබෙත් මහරැජිණගේ අන්වර්ථ නාමය එය බැවින්.

එය කෙටි කොට ලිලී වශයෙන් හැඳින්වීමටයි හැරී සහ මේගන් තීරණය කර ඇත්තේ.

ඩයනා නාමය සිය දියණියට යෙදීමට හැරී කුමරු තීරණය කර ඇත්තේ ඔහු බෙහෙවින් ආදරය කළ සිය මව ඩයනා කුමරිය සිහිපත් කිරීමටයි.

මහ රැජිණගේ 11 වන මී මිණිපිරිය වන ලිලිබට් හෙවත් ලිලී ඩයනා මවුන්ට්බැට්න් වින්ඩ්සර් බ්‍රිතාන්‍යය රජ කිරුළට හිමිකම් කියන අටවන තැනැත්තිය වනවා.

ඇගේ උපතත් සමඟ ඇන්ඩෲ කුමරුට ඒ සඳහා පවතින ස්ථානය 9 දක්වා පහත වැටෙනවා.