සහන දීර්ඝ කරන ලෙස මහබැංකුව ලීසිං සමාගම්වලට දන්වයි

Thursday, 10 June 2021 - 19:06

%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B8%E0%B7%84%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80+%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%82+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
කොවිඩ් ව්‍යාප්තියත් සමග පීඩාවට පත්ව ඇති දෛනිකව ආදායම් උපයන ජනතාවට සහනයක් සැලසීම අරමුණු කර ගනිමින් කොරෝනා වෛරස් රෝගය පිළිබඳ තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලී සබ්රි පවසනවා.

ඒ අනුව, පනත් කෙටුම්පත පිළිබඳ ගැටලු ඇත්නම් සතියක කාලයක් තුල අධිකරණය හමුවේ පෙත්සම් ගොනුකළ හැකියි.

යම් පෙත්සමක් ඉදිරිපත් වුවහොත් උපරිම වශයෙන් සති 3 ක් ඇතුළත ඒ පිළිබඳව අධිකරණය විසින් දැනුම් දෙනු ලබනවා.

කෙසේ වෙතත්, සතියක කාලයක් තුල මෙම පනත සඳහා පෙත්සමක් ඉදිරිපත් නොවුවහොත්, එය දෙවනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.

අධිකරණ කටයුතු සිදුකිරීම, ණය සහන ක්‍රියාත්මක වීමේදී බලපාන නීතිමය තත්ත්වය, ව්‍යාපාර රැස්වීම් ඇතුළු අවස්ථාවක් හා සම්බන්ධ ගිවිසුමක් ක්‍රියාත්මක වීම සහ සංචාරක කර්මාන්තය සම්බන්ධ ගිවිසුම් ක්‍රියාත්මක වීම මෙම පනත මගින් ආවරණය වන ක්ෂේත්‍රයි.

මේ අතර, කොරෝනා වසංගතයේ තුන්වන රැල්ලෙන් පීඩාවට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයන්ගේ ණය පහසුකම් සඳහා ලබාදී ඇති සහන තවදුරටත් දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා මහබැංකුව සියලුම බලපත්‍රලාභී බැංකු නොවන මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම් වෙත දැනුම් දෙනවා.

ඒ අනුව, එලෙස පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයන් ලබා ගත් ණය ආපසු ගෙවීමේ කාලය පිළිගත හැකි නැවත අය කරගැනීමේ සැලැස්මක් මත දීර්ඝ කරන ලෙසයි දන්වා ඇත්තේ.

මැයි 15 වනදා වනවිට සක්‍රියව පැවති මූල්‍ය පහසුකම්, අගෝස්තු 31 වනදා දක්වා මෙලෙස සහන ලබාදීමට සලකා බලන ලෙස ඉල්ලා තිබෙනවා.

එමෙන්ම, සහන කාලය තුල දඩ පොලී හෝ දින 10 ක කාලයක් දක්වා ප්‍රමාදවී ගෙවීම් සඳහා ගාස්තු අය නොකරන ලෙසත්, මහබැංකුව බැංකු නොවන මූල්‍ය ආයතන සහ ලීසිං සමාගම් වෙත නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන්.

මීට අමතරව, මේ වසරේ ජුනි 30 වනදා දක්වා ක්‍රෙඩිට් කාඩ් සහ අනෙකුත් ණය පහසුකම් සඳහා ප්‍රමාද ගාස්තු අය නොකරන ලෙස එමගින් දැනුම්දී තිබෙනවා.

අදාළ සහන සඳහා සුදුසුකම් ලබන ණය ලාභීන් ජූලි 15 වනදාට පෙර ලිඛිතව හෝ විද්‍යුත් මාධ්‍යයෙන් ඒ සඳහා ඉල්ලුම් කරන ලෙස ශ්‍රී ලංකා මහබැංකුව දැනුම් දෙනවා.