අනුරපුර ලක් සතොසෙන් මත්පැන් ගෙනගිය සිද්ධියේ සී.සී.ටී.වී. දර්ශන නැහැ (වීඩියෝ)

Thursday, 10 June 2021 - 19:32

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%9C%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%93.%E0%B7%83%E0%B7%93.%E0%B6%A7%E0%B7%93.%E0%B7%80%E0%B7%93.+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
දිවයින පුරා සංචරණ සීමා පනවා තිබියදී මත්පැන් බෝතල් 800ක් පුද්ගලයකුට අලෙවි කළ අනුරාධපුර අංක එක ලංකා සතොස ශාඛාවේ රට බීම ගබඩාවේ සී.සී.ටී.වී කැමරා පද්ධතිය මේ වන විට අක්‍රීය කර හෝ අක්‍රීය වී ඇති බව ලංකා සතොස අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

එය එසේ වන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක්ද ආරම්භ කර ඇති පසුබිමකයි.

සංචරණ සීමා ක්‍රියාත්මක වන මෙම කාලසීමාවේ සුරාබදු දෙපාර්තමේන්තුව සියළු මත්පැන් අලෙවිසැල් මුද්‍රා තබා තිබෙනවා.

එවැනි අවස්ථාවක අනුරාධපුර නගරයේ පිහිටි ලංකා සතොස අලෙවිසැලේ මත්පැන් ගබඩාවෙන් මත්පැන් තොගයක් රැගෙන යාමේ පුවත හිරු ප්‍රවෘත්ති අණාවරණය කලේ ඊයේ දිනයේදියි.

සතොස ආයතනයේ ඉහල බලධාරියකුගේ උපදෙස් මත සුරාබදු දෙපාර්තමේන්තුවේ නිළධාරියකු ද පැමිණ එම අලෙවි මධ්‍යස්ථානයේ කළමණාකාරවරිය සහ මත්පැන් අලෙවි සැල බාරව කටයුතු කළ සේවකයාද හවුල්කර ගනිමින් මෙම ක්‍රියාව සිදුකර ඇති බවට අප ඊයේ වාර්තා කළා.

කෙසේ වෙතත්, ලංකා සතොස ආයතනයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කළේ නිළ ඇදුමකින් සැරසුනු පුද්ගලයකු වාහනයකින් පැමිණ අදාල ලංකා ස.තො.ස ගබඩාවේ සේවකයන් කිහිපදෙනෙකුගේද සහයෝගයෙන් ගබඩාව විවෘත කර මත්පැන් බෝතල් තොගය රැගෙන ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් මෙම  සිද්ධීය වන අවස්ථාවේ එම ශාඛාවේ ආරක්ෂක කැමරා පද්ධතිය  අක්‍රීය කර හෝ අක්‍රීය වී ඇති බවයි සතොස අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ දුරකතන ඇමතුමකට අනුව සිය දෙපාර්තමේන්තුවේද නිලධාරියෙකුගේද මැදිහත්වීමෙන් මෙම මත්පැන් තොගය ආරක්ෂක අංශ සාමාජිකයෙකුට ලබාදී ඇති බවයි.

කෙසේ වෙතත්, ඊට අදාළ මුදල සතොස වෙත පියවා ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කළා.

මෙම කටයුත්ත සිදුවන අවස්ථාවේ එහි සිටි වෙනත් අයෙකුද මත්පැන් බෝතල් කිහිපයක් ඉල්ලා ඇති බව සඳහන්. ඊට එකඟතාවය පළ වී නොමැති අතර, ඔහු මෙම කාරණය පිටස්තර පාර්ශවයකට පවසා ඇති බවට සැක පළ කරන බවද සුරාබදු දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියා සිටියා.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එහි වාර්තාව වෙළඳ අමාත්‍යවරයාට සහ ලංකා සතොස සභාපතිවරයාට ලබාදීමට නියමිත බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.