තවත් කොරෝනා මරණ 101ක් -ශ්‍රී ලංකාවේ මරණ 2000 ඉක්මවයි

Friday, 11 June 2021 - 11:25

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+101%E0%B6%9A%E0%B7%8A+-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+2000+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
තවත් කොරෝනා මරණ 101 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා .

වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නවතම දත්ත වාර්තාවට අනුව මේ වනවිට එම සංඛ්‍යාව දැක්වෙන්නේ 2,011 ක් ලෙසටයි.

එකවර වාර්තාවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවද මෙය වනවා.

අද පෙරවරුවේ දිවයිනට ලැබුණු ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 65,000 න් 50,000 ක් පළමු මාත්‍රාව ලෙස මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින්ට ලබාදීමට නියමිතව තිබෙනවා.

එසේම අනෙකුත් එන්නත් මාත්‍රා 15,000 දෙවන මාත්‍රාව ලෙස ගොතටුව ප්‍රදේශයේ පුද්ගලයින්ට ලබාදීමටයි නියමිත බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ.

මේ අතර එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ ඊයේ දිනයේ සයිනොෆාම් එන්නත් පළමු මාත්‍රාව සඳහා 67,615 ක් ලබාදී තිබෙනවා.

දෙවන මාත්‍රාව සඳහා එම එන්නත 25,451 කට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාවද පුද්ගලයින් 342 කට ලබාදී ඇති අතර, ස්පුට්නික් වී එන්නත ඊයේ දිනයේ කිසිදු පුද්ගලයෙකුට ලබාදී නැහැ.

අවසන් වරට ස්පුට්නික් වී එන්නත ලබාදී ඇත්තේ පසුගිය 3 වනදායි.

මේ වනවිට කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 925,242 කට ලබාදී ඇති අතර, දෙවන මාත්‍රාව දී ඇත්තේ 354,993 කට පමණයි.

එසේම කොරෝනා වැළඳීම හේතුවෙන් රෝහල් ගතව සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස පූර්ණ සුවය ලැබීමෙන් පසු අද රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

පසුගිය මස 23 වනදා ඔවුන්ට කොරෝනා වැළඳී ඇති බවට තහවුරු වූ අතර, අනතුරුව ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකටයි.

සුවවීමෙන් අනතුරුව රෝහලෙන් නික්මුණු විපක්ෂ නායකවරයා සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබාගැනීම සඳහා අද උදෑසන ගංඟාරාම විහාරස්ථානය වෙත පැමිණියා.

එහිදී මහා සංඝරත්නය විසින් විපක්ෂ නායකවරයාට ආශිර්වාද පතා සෙත් පිරිත් සජ්ජායනාවක්ද සිදු කර තිබෙනවා.

මේ අතර හසලක  ඇඟලුම් කර්මාන්තශාලාවකින් කොරෝනා ආසාදිතයන් 90 දෙනෙකු හමුවී තිබෙනවා.

ඒ අනුව පවුල් 120 ක පුද්ගලයින් 550 ක් නිවෙස් තුළම නිරෝධායනයට ලක් කිරිමටයි පියවර ගෙන ඇත්තේ.

එසේම හැටන් - ලිදුල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් 45 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඉන් 22 ක් නානුඔය වතුයායේ නිවාස පේළියක ආසාදිතයන් බවයි ලිදුල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සඳහන් කළේ.

එසේම ඉන්දියාවේ රාමේෂ්වරම් සිට පසුගිය මාර්තු මස 12 වන දින බෝට්ටුවක් ආධාරයෙන්  අනවසරයෙන් මෙරටට පැමිණි 36 හැවිරිදි පුද්ගලයකු මුල්ලායිවේලී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආගමන විගමන නීති සහ නිරෝධායන නීති කඩකරමින් රැඳී සිටියදී අත්අඩංගුවට ගත් මොහු මුලතිව් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.