සෞඛ්‍ය වෘත්තිය සමිති 28 ක වර්ජනයෙන් එන්නත්කරණයටත් බාධා (වීඩියෝ)

Friday, 11 June 2021 - 13:16

%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+28+%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
සෞඛ්‍ය වෘත්තීය සමිති 28 ක් අද උදෑසන දිවයින පුරා දියත් කළ වර්ජනය හේතුවෙන් කොරෝනා මර්ධන එන්නත් ලබා ගැනීමට සහ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, හෙද හෙදියන් සහ සෞඛ්‍ය කණිෂ්ඨ කාර්ය මණ්ඩලය නියෝජනය කරන වෘත්තීය සමිති 28 ක් අද පෙරවරු 8 සිට  මධ්‍යහ්න 12 දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කරනු ලැබුවේ වෛද්‍යවරුන්ට පමණක් ලබා දෙන දීමනා සහ වරප්‍රසාද සෞඛ්‍ය අංශයේ සෙසු වෘත්තිකයන්ට ලබා නොදීමට විරෝධය පල කරමින්.

මේ අතර එන්නත්කරණ රාජකාරීවලින් ඉවත් වී සිටින කොළඹ දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන්ට සෞඛ්‍ය අමාත්‍යංශය සාකච්ඡාවක් සඳහා ආරාධනා කර තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ අදාල සාකච්ඡාවට සහභාගී වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සෙසු වෘත්තීය සමිති සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.

ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් ඇතුලු කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් මෙලෙස එන්නත්කරණ රාජකාරීවලින් ඉවත් වී ඇත්තේ එන්නත්කරණ ක්‍රියාවලියට රාජ්‍ය නිලධාරීන් මැදිහත් වී බලපෑම් සිදු කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය වෙත යොමු කල ලිපියකට විරෝධය පළ කරමින්.

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් අදාල ලිපිය ඉල්ලා අස්කර ගැනීමට පියවර ගන්නා තෙක් රාජ්‍ය නිලධාරීන් එන්නත්කරණ රාජකාරීවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න කියා සිටියා.