ත්‍රී රෝද රථ ව්‍යාපාරය විදෙස් සමාගම්වලට පාවාදී ඇතැයි චෝදනා

Friday, 11 June 2021 - 18:54

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
මෙරට ත්‍රී රෝද රථ ව්‍යාපාරය විදෙස් සමාගම්වලට පාවාදී ඇති බව සමස්ත ලංකා ත්‍රී රෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ලලිත් ධර්මසේකර පවසනවා.

රට පුරා දැඩි ලෙස පැතිර ගොස් ඇති කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් ත්‍රී රෝද රථ රියදුරන් බරපතල ආර්ථික ගැටලු රැසකට මුහුණදී ඇති බවයි සභාපතිවරයා පවසන්නේ.

ඒ අතරවාරයේ ත්‍රී රෝද රථ රියදුරන් දඩමීමා කරගෙන මෙරට විදේශ විනිමය පිරටට ගෙනයාමේ සංවිධානාත්මක කූට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවත් ඔහු පවසනවා.

ජාත්‍යන්තර කුලී රථ සමාගම් මෙරට ත්‍රී රෝද රථ සම්බන්ධ කරගෙන මෙම විදේශ විනිමය ජාවාරම සිදුකරන බවයි ඔහු චෝදනා කරන්නේ.

මෙම කුලී රථ සමාගම් නිරෝධායන නීති රීතිවලට මුවාවී භාණ්ඩ ප්‍රවාහනයේ යෙදෙන බවත් අහිංසක කුලී රථ රියදුරන් නිරෝධායන නීතිවලට යටත්ව නිවෙස්වල කාලය ගෙවන බවත් ත්‍රී රෝද රථ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර පවසනවා.

මෙලෙස නිරෝධායන නීති රීති අනුව නිවේසවල සිටින ත්‍රී රෝද රථ රියදුරන්ට රජයෙන් ද කිසිදු සහනයක් නොලැබෙන අතර අවම තරමින් ඔවුන්ට රුපියල් 5000 දීමනාව හෝ ලබාදීමට කටයුතු කළ යුතු බවටයි ඔහු පෙන්වා දෙන්නේ.

ත්‍රී රෝද රථ රියදුරන්ගේ ප්‍රශ්න වෙනුවෙන් කතා කළ සුනිල් ජයවර්ධන ඝාතනය කොට වසරක් ගත වුව ද ඔහු වෙනුවෙන් විවිධ දේශපාලනඥයින් ලබාදුන් සියලු පොරොන්දු අද වන විට කඩවුණු පොරොන්දු බවට පත්වී ඇති බවයි ලලිත් ධර්මසේකර කියාසිටින්නේ.

එමෙන්ම මහ බැංකුවේ උපදෙස් අනුව ණය සහන සහ ලීසිං සහන ත්‍රී රෝද රථ හිමියන්ට ලබාදීමට අදාළ මූල්‍ය ආයතනවලට නියෝග සහ උපදෙස් නිකුත් කළ ද ඒවා ද බීරි අලින්ට වැයූ වීණා මෙන් ක්‍රියාත්මක තත්වයේ නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.