ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගයක් මෙම සතිය තුල දිවයිනට

Wednesday, 21 July 2021 - 18:21

%E0%B6%87%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8F+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B8+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B6%BD+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගයක් මෙම සතියේ ලැබෙන බව කොළඹ මහ නගර සභාව නිවේදනය කරනවා.

කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යා වෛද්‍ය දිනූකා ගුරුගේ පැවසුවේ අදාළ එන්නත් තොගය ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ගේ දෙවැනි මාත්‍රාව ලෙස භාවිතා කරන බවයි.
 
කොළඹ නගර සභා බල ප්‍රදේශය තුල ඇස්ට්‍රාසෙනෙකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් සෑම කෙනෙකුටම දෙවන මාත්‍රාව ලබා දෙන දිනය සහ ස්ථානය කෙටි පණිවුඩ මගින් දැනුම් දෙන බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි පළමු මාත්‍රාව වෙනත් ප්‍රදේශවල දී ලබාගත් පුද්ගලයින්ට තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි (MOH) හරහා අදාළ උපදෙස් ලබා ගත යුතු බව ඇය ප්‍රකාශ කළා.

ඇස්ට්‍රාසෙනෙකා පළමු එන්නත් තොගය මෙරටට ලැබුණේ ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙසටයි.

කෙසේ වෙතත් පසුව ඉන්දියාව තුළ සීඝ්‍රයෙන් හිස එසවූ කොවිඩ් -19 වසංගත රෝග තත්ත්වය හේතුවෙන් එරට ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිෂ්පාදනය කරන සීරම් ආයතනයට ලැබුණු ජාතන්තර ඇණවුම් ප්‍රමාණය සපුරා ගැනීමට නොහැකි වූයේ ඉන්දීය ඉල්ලුම ඉහළ යාම හේතුවෙන්.

මේ තත්ත්වයත් සමග මෙරට ඇස්ට්‍රාසෙනෙකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් පුද්ගලයන් ලක්ෂ 6කට අධික ප්‍රමාණයක් පත් වූයේ දැඩි අපහසුතාවයකටයි.

කෙසේවෙතත් මීට සති දෙකකට පමණ පෙර ජපානය නිවේදනය කළේ ඔවුන් සතුව ඇති ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියන 1.5කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබාදෙන බවයි.

මෙම සතියේ අග භාගයේ මෙරටට ලැබෙන්නේ එලෙස ජපානයෙන් මෙරටට ලැබෙන ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු කොටසයි.