ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි

Thursday, 22 July 2021 - 16:42

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+100+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද (22) පස්වරු 6 සිට අනිද්දා 24 පෙරවරු 8 දක්වා වලංගු වන ආකාරයෙන් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමිනුයි ඔවුන් මේබව කියාසිටියේ.

නිරිතදිග මෝසම් තත්වය සක්‍රියව පැවතීම හේතුවෙන් සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

මේ අතර ගාල්ල සිට  හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

අද පස්වරු 2.30 සිට හෙට (23) පස්වරු 2.30 දක්වා අදාළ ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ක් 70ක් පමණ දක්වා ඉහළ යාහැකියි.

සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් 60ක් පමණ දක්වා ඉහළ යාහැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකියි.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි.

මේ පිළිබඳ ඉතා අවදානයෙන් කටයුතු කරන ලෙසට ධීවර සහ නාවුක ප්‍රජාවට දැනුම් දෙනවා.