පොලීසිය, රිෂාඩ්ගේ බිරිඳගෙන් ප්‍රශ්න කරයි (වීඩියෝ)

Thursday, 22 July 2021 - 17:53

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%2C+%E0%B6%BB%E0%B7%92%E0%B7%82%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මෙහෙකාර සේවයට යොදාගත් බාල වයස්කාර දැරියක් පිළිස්සී මිය යාම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගෙන් පොලීසිය අද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

බොරැල්ල පොලිස් ස්ථානය වෙත කැදවා ඇයගෙන් මෙම ප්‍රකාශය ලබාගෙන ඇති අතර, ඇයට අමතරව තවත් දෙදෙනෙකුගෙන් ද සිද්ධිය සම්බන්ධයෙන් අද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

එසේම, දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට උපදෙස් ලබාදීම සඳහා නීතිපතිවරයා විසින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් කණ්ඩායමක් පත්කර තිබෙනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුලු පොලිස්  කණ්ඩායමක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත කැඳවා අද පැවති සාකච්ඡාවකින් අනතුරුව නීතිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත් 16 හැවිරිදි අදාළ දැරියගේ මරණය සිදුවී සතියක කාලයක් ගතව ඇතත් ඊට වගකිවයුතු පුද්ගලයින්ට මේ දක්වා නීතිය ක්‍රියාත්මක වී නැහැ.

මේ අතර දැරියගේ මව චෝදනා කරන්නේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වෙනත් දිශාවකට යොමු කිරීමේ උත්සාහයක්ද පවතින බවයි.

පවුලේ ආර්ථික අපහසුතා නිසා ඉෂාලීනි ජූඩ් නැමති මෙම දැරිය පසුගිය වසරේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට ගොස් තිබූ අතර ඇයගේ මව සඳහන් කළේ එහි සේවය කරන අතරතුරදී තමාට දුරකථන ඇමතුම් ලබාදී තවදුරටත් මන්ත්‍රීවරයාගේ නිවසේ සිටිය නොහැකි බැවින් තමාව රැගෙන යන ලෙසට දියණිය කිහිප වරක් ප්‍රකාශ කළ බවයි.

දැරිය එලෙස ප්‍රකාශ කළද මව්පියන්ට හැටන් - ඩයගම සිට කොළඹට පැමිණ එම දැරිය රැගෙන යාමට නොහැකිවී තිබුණේ පළාත් අතර සංචරණ සීමා පැවතීම හේතුවෙන්.

කෙසේ වෙතත් පසුගිය 3 වනදා අදාළ දැරිය පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගතකර ඇති බවට ඇයගේ දෙමාපියන් දැනුවත් කර තිබූ  අතර,  ඇය ඉකුත් 15 වැනිදා මෙලොව හැර ගියා.

දේහය පිළිබඳ සිදුකළ පරීක්ෂා කිරීම්වලින් අනාවරණ වී තිබුණේ ඇය කලක පටන් අතවරවලටද ලක්ව ඇති බවටයි.

මේ අතර, දැරියට සිදුවූ අසාධාරණයට එරෙහිව අද මුලතිව් නගරයේදී පිරිසක් නිහඬ විරෝධතාවක නිරතවුණා. එසේම එම සිද්ධිය සම්බන්ධයෙන් සිංහල රාවය සහ සිංහලේ ඇතුළු සංවිධාන කිහිපයක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉදිරිපිට අද උද්ඝෝෂණයක නිරත වුණා.

පසුව එම ස්ථානයට ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදාන පතිරණ පැමිණි අතර, ඔහු ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධ විමර්ශන වෙනතකට යොමුවන බවට අනාවරණ වුවහොත් සියලු විමර්ශන තම අධිකාරිය යටතට පවරාගැනීමට කටයුතු කරන බවයි.





මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අද දේශපාලන නියෝජිතයින් අදහස් පළ කළා.