තවත් කොරෝනා ආසාදිතයින් 2475ක්

Wednesday, 15 September 2021 - 8:26

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+2475%E0%B6%9A%E0%B7%8A
ගත වූ පැය 24 තුළ කොරෝනා ආසාදිතයින් 2475 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 490,957ක් ලෙසයි.

ඊයේ මෙරටින් හඳුනාගැනුණු නව ආසාදිතයින්ගෙන් 2473 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වෙන අතර, දෙදෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි අයයි.

ඒ අනුව මෙරට සක්‍රීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 63,741ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 415,649ක්.

එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පෙරේදා සිදු වූ බවට ඊයේ තහවුරු කරනු ලැබූ කොරෝනා මරණ 136ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 11567ක් දක්වා ඉහළ ගියා.

රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාලසීමාව තුළ ආහාර නොමැතිව පීඩාවට පත්ව අසරණ වී සිටින යාචකයින් වෙත පිසූ ආහාර ලබා දීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා ගැලවීමේ හමුදාවේ මැදිහත් වීමෙන් කොළඹ අවට ප්‍රදේශවල ආරම්භ කර තිබෙනවා.

කොම්පඤ්ඤවීදිය, පුරහල අවට සහ බොරැල්ල ප්‍රදේශයේ සිටින යාචකයින් 100 දෙනෙකුට පමණ දෛනිකව මෙලෙස ආහාර බෙදා දෙන බවත්, ඒ අතර 40 දෙනෙකු පමණ පුරහල ප්‍රදේශය ආශ්‍රිතව අහාර ලබා ගැනීමට පැමිණෙන්නන් බවත් ශ්‍රී ලංකා ගැලවීමේ හමුදාවේ කොළඹ පිහිටි ප්‍රධාන මූලස්ථානය සඳහන් කළා.

මේ අතර, කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් සීමා කෙරුණු ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සේවා කටයුතු අද සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ මාතර, මහනුවර, කුරුණෑගල සහ වව්නියාව යන ප්‍රාදේශීය කාර්යාල සාමාන්‍ය සේවා යටතේ අත්‍යාවශ්‍ය හා හදිසි අවශ්‍යතා ඇති සේවාලාභීන් වෙනුවෙන් විවෘතව තැබෙනු ඇති.