එජාප නායකයා ඇතුලු පිරිසකට වාරණ නියෝගයක්

Wednesday, 15 September 2021 - 15:54

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන මන්ත්‍රීවරු 21 දෙනෙකු පක්ෂයෙන් නෙරපා හැරිම හේතුවෙන් මතුවන පුරප්පාඩු සඳහා වෙනත් අය නම් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අදාළ මන්ත්‍රීවරු පිරිස විසින් ඉදිරිපත් කළ පැමිණිලි සලකා බැලීමෙන් පසුව ලබන 29 වනදා තෙක් බලපැවැත්වෙන පරිදි කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ විසින් අදාළ වාරණ නියෝගය නිකුත් කළා.

මෙහි වගඋත්තරකැවන් ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, එම පක්ෂයේ විනය කමිටුවේ ලේකම් සමින්ද ජයසේකර නම් කර තිබුණා.

එම වගඋත්තරකරුවන්ට මීළඟ දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසද විනිසුරුවරයා නියෝග කළා.

පැමිණිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ෆර්මාන් කාසිම් හා තිසත් විජේගුණවර්ධන යන ජනාධිපති නීතිඥවරුන් අධිකණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් මැතිවරණවලදී සමඟි ජන බලවේගයට සහාය පළ කළේ යැයි චෝදනා කරමින් සිය සේවාදායකයින්ගේ පක්ෂ සාමාජිකත්වය නෙරපීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කර ඇතැයි චෝදනා කළා.

සාමාජිකයින් නෙරපීමට පෙර ඔවුන්ට සාධාරණ විනය පරීක්ෂණයක් ලබාදීමට පක්ෂය ක්‍රියාකර නොමැති බවත් ඒ තුළින් පක්ෂය ස්වභාවික යුක්ති ධර්මය නමැති නීතිමය මූලධර්මය බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවත් ජනාධිපති නීතිඥවරුන් කියා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි දිසා අධිකරණය මෙම වාරණ නියෝගය හා නොතීසි නිකුත් කරනු ලැබුවේ.