අලි ඇතුන් මුදා හැරීමට එරෙහිව අධිකරණයට ඉදිරිපත් වූ විරෝධතාවක් ප්‍රතික්ෂේප වෙයි

Thursday, 16 September 2021 - 16:06

%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි අලි ඇතුන් මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගය වැරදි බවත් එය නොසලකා හැරිය යුතු බවත් සඳහන් කරමින් ජනාධිපති නීතිඥයින් ඇතුලු නීතිඥයින් කිහිප දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කළ විරොධතාව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එස් ප්‍රභාකරන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.  

පසුගිය 6 වන දින කොළඹ  අතිරේක මහේස්ත්‍රාත් එස් ප්‍රභාකරන් විසින් ලබාදුන් මෙම නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා පරිසර සංවිධාන සහ නීතිඥ කණ්ඩායම් කිහිපයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල හමුවේ පසුගිය 13 වැනිදා විරෝධතාවක් ගොනු කළා.

එම විරෝධතාව විභාගයට ගනිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ අදාළ නියෝගය ලබාදී ඇත්තේ තමන් නොවන බැවින් එම විරෝධතාව අදාළ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුව මෝසමක් මාර්ගයෙන් අදාළ විරෝධතාව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එස් ප්‍රභාකරන් හමුවේ විභාගයට ගැනුනා.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක ප්‍රමුඛ නීතිඥ කණ්ඩායම සඳහන් කළේ මෙම නියෝගය අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධි විධානයන්ට අනුකූලව සිදු කළ නීත්‍යානුකූල නියෝගයක් බවයි.

තමන් අලි ඇතුන් මුදා හැරීමේ නියෝගය ලබාදුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ නඩුකරය තවදුරටත් පවත්වාගෙන නොයන බවට අධිකරණය හමුවේ සිදුකළ ප්‍රකාශයත් සමග බව නීතිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු මෙම කරුණු විමසීම පිළිගනිමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා කියා සිටියා.

බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස ළඟ තබාගත් අලි ඇතුන් සහ පැටවුන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට වසර කිහිපයකට පෙර විශේෂ විමර්ශනයක් ආරම්භ කළා.

එම විශේෂ විමර්ශනයට අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බලපත්‍ර නොමැතිව නීත්‍යානුකූල නොවන ආකාරයට රඳවා තබා ගත් අලි ඇතුන් සහ පැටවුන් 34ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගැනුණා.

කතරගම දේවාලයට අයත් හස්තියෙකු, කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයට අයත් අලි ඇතුන් දෙදෙනෙකු සහ අලි පැටවුන් ජාවාරමේ යෙදුණු බවට චෝදනා ලද පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි අලි රොෂාන් නැමැත්තාට අයිති අලි පැටවකු ද මේ යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබුණා.

මෙලස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රඳවාගත් අලි ඇතුන් 14කට අධික සංඛ්‍යාවක් මුදාහැරීමට පසුගියදා (06.09.2021) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝගයක් ලබා දුන්නා.

සත්වයින් සුරැකීමේ සංවිධාන සහ නීතිඥ කණ්ඩායම් කිහිපයක් විරෝධතා ගොනු කළේ එම නියෝගයටයි.