හිරු පුවත ගැන රෝහිත රාජපක්ෂගෙන් පැහැදිළි කිරීමක්

Thursday, 14 October 2021 - 7:30

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අගමැති පුත් රෝහිත ක්‍රිකට් පරිපාලනයට යනුවෙන් ප්‍රශ්නාර්ථයක් ද යොදමින් හිරු ප්‍රවෘත්ති පළ කළ පුවත සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ කනිටු පුත් රෝහිත රාජපක්ෂ සිය ට්විටර් ගිණුම හරහා පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

ඉන් දැක්වෙන්නේ තමන්ට ක්‍රිකට් පරිපාලනය සඳහා එක්වීමට හෝ LPL ක්‍රිකට් තරගාවලියට එක්වීමට කිසිදු අදහසක් නොමැති බවයි.

හිරු ප්‍රවෘත්ති කිසිදු අවස්ථාවක එම පුවත හරහා අග්‍රාමාත්‍ය කනිටු පුත් රෝහිත රාජපක්ෂ ක්‍රිකට් පරිපාලනයට එක්වන බවක් ප්‍රකාශ කර නොතිබූ අතර සඳහන් කර ඇත්තේ මෙය ඔහුගේ අනාගත සැලස්මක කොටසක් විය හැකි බවට විචාරකයින් පලකරන මතයක් ප්‍රශ්නාර්ථයක් යොදමින් පළකිරීමක් පමණි.

එමෙන්ම එම පුවතේ කිසිදු ස්ථානයක රෝහිත රාජපක්ෂ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වීමට අදහස් කර සිටින බවක් ද සඳහන් කර තිබුනේ නැහැ.

එහිදී අප විසින් සමාජ මාධ්‍ය ප්‍රචාරණය සඳහා භාවිත කර ඇති ඡායාරූපය තුළ සඳහන් කර ඇත්තේ ද "අගමැති පුත් රෝහිත ක්‍රිකට් පරිපාලනයට ?" යනුවෙනුයි.

එහිදී අදාළ ඡායාරූපය තුළ අප විසින් ප්‍රශ්නාර්ථ සලකුණ භාවිත කර ඇති අතර එමගින් අදාළ වාක්‍යයේ අදහස ප්‍රශ්නාර්ථයක් බවට හැඟවේ.

කෙසේ වෙතත් විචාරක මතයන් සඳහා ද හිරු පුවත් තුළ ඉඩ අවස්ථාව වෙන් කිරීමට අප කිසිදු අවස්ථාවක නොපැකිළිව ඉදිරිපත් වන්නේ ඒ හරහා හෙට දවසේ ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා සැලසෙන ඉඩ ප්‍රස්තාව වෙනුවෙනුයි.

ඔහු අනාගතයේ යම් දිනක ක්‍රිකට් පරිපාලනයට එක් වීම හෝ නොවීම සහමුලින්ම ඔහුගේ පෞද්ගලික තීරණයක් වන අතරම එය කුමක් වුවද එම තීරණයට අප බෙහෙවින් ගරු කරමු.

එසේ වුවද ඔහු ක්‍රිකට් පරිපාලනයට එක්වීමට ඉඩ ඇත යන්න විචාරක මතය වන අතරම ඔහුගේ අනාගත ක්‍රිකට් දිවියට අපෙන් සුබපැතුම්.

අප විසින් අදාළ පුවත වාර්තා කර ඇත්තේ පහත අයුරිනි.

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ කනිටු පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ පන්දුවාර 50 අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය තුළ දී ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන්නට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ජාතික සහ ක්‍රීඩා සමාජ මට්ටමේ රග්බි ක්‍රීඩකයකු වන රෝහිත රාජපක්ෂ ශ්‍රී ලංකා යුධ හමුද කණ්ඩායම සහ කොළඹ CH&FC ක්‍රීඩා සමාජ කණ්ඩායම් නියෝජනය කළා.

ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ රෝහිත රාජපක්ෂ අද මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවති කළුතර ටවුන් ක්ලබ් ක්‍රීඩා සමාජයේ පුහුණු තරගයක් සඳහා එක්වූ බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මස 27 වනදා ආරම්භ වීමට නියමිත අතර එම තරගාවලිය ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භවීමට ප්‍රථම අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

කළුතර ටවුන් ක්ලබ් ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දෙවැනි පෙළ ක්‍රිකට් ක්‍රීඩා සමාජයක් වන අතර ඔවුන් මෙවර පන්දුවාර 50 අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේදී දෙවැනි කාණ්ඩයේ යටතේ තරග සඳහා එක්වීමට නියමිතයි.

විචාරකයින් පවසන්නේ රෝහිත රාජපක්ෂගේ මෙම හදිසි ක්‍රිකට් ආගමනය ඔහුගේ අනාගත සැලැස්මක කොටසක් විය හැකි බවටයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනය සිදුවන ක්‍රිකට් මහගෙදර වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාර ධූරය හැර අනෙක් සියලු විධායක මට්ටමේ තනතුරු සඳහා අවම තරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් හා අනුබද්ධ දෙවෙනි පෙල ක්‍රීඩා සමාජයක හෝ අන්තර් සමාජ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ක්‍රීඩා කළ යුතු ව තිබීම අත්‍යාවශ්‍ය සුදුසුකමක් ලෙස සැලකෙනවා.