තරුණ යුවළට මරු වැලක් වූ අනවසර විදුලි රැහැන ඇද්ද පුද්ගලයා අද අධිකරණයට

Monday, 18 October 2021 - 9:42

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B7%85%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
ඇඹිලිපිටිය, කොලොන්න, පිටවෙලගම ප්‍රදේශයේ දී අනවසරෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලී තරුණ යුවලක් මිය යාමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (18) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

පසුගිය 16 වනදා රාත්‍රියේ මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා ඇත්තේ  26 හැවිරිදි තරුණයෙක් සහ 17 හැවිරිදි තරුණියක් බවයි වාර්තා වුණේ.

මියගිය තරුණයා මාතර, දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර තරුණිය කොලොන්න ප්‍රදේශයේ ම පදිංචිකාරිණියක්.

මොවුන් දෙදෙනා මුහුණු පොත ඔස්සේ දැන හැඳිනගෙන කලක සිට ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවටයි හෙළි වී ඇත්තේ.

මෙම සිදුවීම සිදු වූ දින දික්වැල්ල ප්‍රදේශයේ සිට මෙම තරුණයා, තරුණිය හමුවීමට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එදින රාත්‍රියේ තරුණියගේ නිවස අසලට පැමිණි තරුණයා ඇය සමඟ කතාබස් කරමින් සිටින අතර තුර නිවැසියන් මේ බව දැක තිබෙනවා.

එම අවස්ථාවේ බිය වූ ඔවුන් දෙදෙනා දිව යාමට තැත්කර ඇති අතර එහිදී අසල ඉඩමකට අනවසරෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලී මොවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

විදුලි සැර වැදී මියගිය යුවළගේ සිරුරු ඊයේ (17) උදෑසන සොයාගෙන ඇති අතර ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා සිරුරු ඇඹිලිපිටිය රෝහලවෙත යොමු කෙරුණා.

එහිදී මළ සිරුරුවල පී.සී.ආර්. සාම්පල ලබාගෙන පරීක්ෂණ සඳහා රත්නපුර රෝහල වෙත යවා ඇති අතර එම සාම්පලවල ප්‍රතිඵල අද දිනයේ දී ලැබීමෙන් අනතුරුව දේහයන් පවුලේ ඥාතීන් වෙත භාරදීමට කටයුතු කරන බවයි පොලිසිය වැඩිදුරටත් පවසා සිටියේ.