කෙරවළපිටිය එල්.එන්.ජී.බලාගාරයේ කොටස් හුවමාරුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් (වීඩියෝ)

Monday, 18 October 2021 - 15:52

%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%80%E0%B7%85%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%A2%E0%B7%93.%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කෙරවළපිටිය යුගදනවි තාප බලාගාරයේ රජය සතු සියයට 40ක කොටස් ප්‍රමාණයක් ඇමරිකානු සමාගමකට පවරා දීමට කැබිනට් මණ්ඩලය මගින් ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඒ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින්.

පෙත්සම් විභාගයට ගෙන අවසන් තීන්දුව ලබා දෙන තෙක් කැබිනට් මණ්ඩලය මගින් පසුගිය සැප්තැම්බර් 6 වනදා එළඹුණු තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ද අදාල පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය, අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුලු 54 දෙනෙකු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. ඊට ඇමරිකානු නිව් ෆෝට්‍රස් සමාගම ද ඇතුළත් වන බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ කෙරවලපිටිය - යුගදනවි බලාගාරයේ හිමිකාර සමාගමේ ලක් රජයට අයත් කොටස්වලින් සියයට 40ක් වගඋත්තරකාර ඇමරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යුක්තිසහගත නොවන බවයි.

එවැනි තීරණයකට එළඹීමට පෙර ජාතික ආර්ථිකය හා ජාතික ආරක්ෂාව වැනි කරුණු කෙරෙහි අවදානය යොමු කිරීමට අමාත්‍ය මණ්ඩලය අසමත් වී ඇති බවට ද එමගින් චෝදනා නගා තිබෙනවා.

එමෙන්ම, අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය හරහා මෙරට ගෑස් නිෂ්පාදනයේ ඒකාධිකාරිය වගඋත්තරකාර ඇමරිකානු සමාගම සතු වීමේ අවදානමක් ද මතු වනවා.

එමෙන්ම මෙම කොටස් පැවරීමේදී විධිමත් ටෙන්ඩර් පටිපාටි අනුගමනය නොකිරීම නිසා එම ක්‍රියාවලියේ පාරදෘශ්‍යභාවය පිළිබදව බරපතල ගැටළු මතු වී තිබෙන බවයි පෙත්සම ඉදිරිපත් කරමින් අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පෙන්වා දෙන්නේ.

එබැවින් අමාත්‍ය මණ්ඩලය සාධාරණ කරුණු අධ්‍යයනයකින් තොරව අදාළ කොටස් පැවරීමට ගනු ලැබූ තීරණයෙන් මෙරට මහජනතාවගේ මූලික අයිතීන් උල්ලංගණය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කාර හිමිවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

එමෙන්ම, යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ද එමගින් ඉල්ලා තිබෙනවා.

මේ අතර, යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් යොමු කළ ලිපියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිචාර දක්වා සිටියා.

එහිදී ජනාධිපතිවරයා පක්ෂ නායකයින්ට ලිඛිතව දැනුම් දී ඇත්තේ මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී හෝ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමකදී සාකච්ඡා කිරීම වඩා යෝග්‍ය බවයි.

දේශපාලනික කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ජාතික සංවිධායක අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග සාකච්ඡා කිරීම සුදුසු බවයි ජනාධිපතිවරයා පක්ෂ නායකයින්ට දැනුම් දී ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories