කොන්ද තියෙන කථානායක (වීඩියෝ)

Monday, 22 November 2021 - 9:26

%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
"ඔබ මේ රටේ අගමැති. මට ඔබට අභියෝග කරන්න බෑ. හැබැයි පාර්ලිමේන්තුව ඇතුළේ නිසි බලධාරියා මමයි, කරුණාකරලා කටවහගෙන වාඩිවෙන්න."

මේ ප්‍රකාශය සිද්ධවෙන්නේ අපේ පාර්ලිමේන්තුව ඇතුළේ නම් නොවේ.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඇතුළේ මීට දින තුනකට කලින් අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන් (Boris johnson) දිගින් දිගටම විපක්ෂ මන්ත්‍රීවරයකුට බාධා පමුණුවමින් සිටියදී එරට පාර්ලිමේන්තුවේ කථානායක ලින්ඩ්සේ හොයිල් ‍බ්‍රිතාන්‍ය අගමැතිවරයාට තවදුරටත් බාධා නොකරන ලෙස කියා සිටියේ මෙලෙසින්.

එහිදී වැඩිදුර වැඩිදුරටත් පාර්ලිමේන්තු සභාව අමතමින් කථානායක හොයිල් කියා සිටියේ, මෙම සභා ගර්භය තුළ සිටිනා සෑම කෙනෙක්ම එකිනෙකා කෙරෙහි ගෞරව කරමින් ඔවුන්ගේ ආත්මාභිමානය රැකෙන අයුරින් කටයුතු කළ යුතු බවයි.

එමෙන්ම පාර්ලිමේන්තු නීතිරීති සම්ප්‍රදායන්ට ගරු කරමින් කටයුතු කළ යුතු බවත්, එය සෑම කෙනෙකුටම පොදු දෙයක් බවත් ඔහු ඉතා දැඩි ස්වරයකින් කියා සිටියා.

බ්‍රිතාන්‍ය කථානායකවරයාගේ මෙම ක්‍රියාවට මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හිමිව ඇත්තේ ඉතා ඉහළ ප්‍රතිචාරයක්.

ඔහුගේ සෘජු ප්‍රතිපත්ති සහ හැසිරීම සමාජ මාධ්‍ය ඔස්සේ මහත් ලෙස පැසසුමට ලක්ව තිබෙනවා.

අගමැතිවරයා පමණක් නොව ඇතැම් විට අගමැති පුතුන් ඉදිරියේ, ජ්‍යෙෂ්ඨ දේශපාලඥයින් ඉදිරියේ පවා නිරුත්තර වන, පක්ෂග්‍රාහී වන, දණින් වැටෙන, මෙරට ඇතැම් කථානායකවරුන්ට පවා මෙම සිද්ධිය කදිම ආදර්ශයක්.

දේශපාලන ගැත්තෙකු නොවී ස්වාධීන ව උත්තරීතර සභාවක් පාලනය කර හසුරුවා ගන්නේ කෙලෙසදැයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කථානායක ලින්ඩ්සේ හොයිල් ලොවටම විදහා දක්වනවා.