දේවස්ථානයේ බෝම්බ තැබූ විශ්‍රාමික වෛද්‍යවරයාගේ ප්‍රකාශ ගැන විමර්ශන

Friday, 21 January 2022 - 12:49

%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1
බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයා සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඔහුගේ ඇතැම් ප්‍රකාශ පරස්පර තත්ත්වයක පැවතීම ඊට හේතුවයි.

අදාළ දේවස්ථාන පරිශ්‍රයේ තිබී අත්බෝම්බයක් හමුවූයේ පසුගිය 11 වනදායි.

එදින සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, පසුව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එම පොලිස් පරීක්ෂණ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී පළ කළේ දැඩි විරෝධයක්.

එහි දී ප්‍රකාශ කළ ප්‍රධාන කාරණය වූයේ, පොලිසිය සී සී ටී වී දර්ශන නිසි පරිදි නිරික්ෂණය කර නොමැති බවයි.

කාදිනල් හිමිපාණන්ගේ මෙම ප්‍රකාශයෙන් පසු උන්වහන්සේ පෙන්වා දුන් තොරතුරුවලට අනුව ඇඹිලිපිටිය - පනාමුර ප්‍රදේශයේදී දේවස්ථානයේ බෝම්බය තැබූ බවට සැක කෙරුණු පුද්ගලයා අත්අඩංගුවට ගත්තා.

එම සැකකරු ප්‍රශ්න කිරීම්වල දී හෙළි කළේ, වෛද්‍යවරයෙකු තමාට බෝම්බය ලබාදුන් අතර, රුපියල් 50,000ක මුදලක්ද ලැබුණු බවයි.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ විශ්‍රාමික වෛද්‍යවරයා පිළියන්දල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් අතර, ඔහුට බෝම්බය අලෙවි කළ පුද්ගලයා හම්බන්තොට රන්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්තා.

විශ්‍රාමික වෛද්‍යවරයාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා තිබුණේ බොරැල්ල දේවස්ථානයේ තැබූ අත්බෝම්බය මෙන්ම පසුගියදා කොළඹ පෞද්ගලික රෝහලක තැබූ අත්බෝම්බයද තමන්ගේ මෙහෙයවීමෙන් සිදුවූ බවයි.

1974 වසරේ බෞද්ධ කාන්තාවක් සමඟ තමන් විවාහ වූ බවත්, බිරිඳ බෞද්ධවීම හේතුවෙන් එවකට දේවස්ථානයේ පූජකවරයා තමන්ට මංගල උත්සවයට අදාළ පූජාවට අවසර ලබා නොදීම හේතුවෙන් තමන් දීර්ඝ කාලයක් සිත් තැවුලෙන් පසුවූ බව විශ්‍රාමික වෛද්‍යවරයා පවසා තිබෙනවා.

එම ද්වේෂය පිරිමසා ගැනීමට සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයට අත්බෝම්බය ගෙනවිත් තැබූ බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම තම මියගිය බිරිඳට හොඳින් ප්‍රතිකාර කළ නාරාහේන්පිට පෞද්ගලික රෝහලට ප්‍රසිද්ධියක් ලබාදීම සඳහා එම රෝහලේ අත්බෝම්බය තැබූ බවද විශ්‍රාමික වෛද්‍යවරයා අනාවරණ කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා පවසන තොරතුරු, සිද්ධිය හා සම්බන්ධ සත්‍ය තොරතුරුද යන්න සැක මතුවන අවස්ථා ඇති බව පරීක්ෂණ මෙහෙයවන පොලිස් නිලධාරියෙකු අප කළ විමසීමකදී කියා සිටියා.

ඒ අනුව විශ්‍රාමික වෛද්‍යවරයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ.

එමෙන්ම අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයා සිදු කළ රහසිගත පාපොච්චාරණය මාධ්‍ය වෙත හෙළි කළ කොළඹ අපරාධ කොට්ඨාසයේ උසස් නිලධාරීන් දෙදෙනෙකු සම්බන්ධයෙන්ද මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි අපරාධ කොට්ඨාස ආරංචි මාර්ග සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories