අධ්‍යාපන ඇමතිගෙන් ඉල්ලීමක් (වීඩියෝ)

Sunday, 22 May 2022 - 16:52

%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සියල්ල සූදානම් කර අවසන් අතර, විභාගය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු සහයෝගය මේ අවස්ථාවේ දී ලබා දිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සියලු පාර්ශවයන්ගේන් ඉල්ලා සිටිනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විභාගයේ දී සිසුන් හා දෙගුරුන් අනුගමනය කළ යුතු උපදෙස් පිළිබඳ ව අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

පෞද්ගලික හා පාසල් අයදුම්කරුවන් 517496ක් විභාගයට මුහුණ දීමට සූදානමින් සිටින අතර ස්ථාපිත කර ඇති විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව 3844ක්.

එම මධ්‍යස්ථාන සම්බන්ධීකරණ කටයුතු සඳහා මධ්‍යස්ථාන 542ක් පවත්වාගෙන යන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

මෙවර විභාගය සඳහා ඇති ප්‍රධාන අභියෝගය ඉන්ධන හිඟය බව ‍පෙන්වා දෙමින් ඔහු සඳහන් කලේ එම අභියෝග ජය ගැනීමට නම් ඒ සඳහා පහසුකම් සලසා දිය යුතු වන බවයි.

ඒ දරුවන් විභාග ශාලාව වෙත රැගෙන යාම හා විභාගය වෙනුවෙන් රාජකාරිවල යෙදී සිටින නිලධාරීන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් හා අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයින්ට විභාග මධ්‍යස්ථාන වෙත අපහසුවකින් තොරව වාර්තා කිරීම වෙනුවෙන්.

මේ සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තමන් සියලුම ආණ්ඩුකාරවරුන් සම්බන්ධීකරණය කර බලධාරින් දැනුවත් කර විභාග අයැදුම්පත, විභාග රාජකාරි ලිපි, හැඳුනුම්පත් ඉදිරිපත් කිරීමෙන් ඉන්ධන ලබා දීමට පුමුඛතාවය ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි ප්‍රකාශ කළා.

ඔවුන් වෙනුවෙන් ප්‍රමුඛතාව ලබා දෙන්න ලෙසට ප්‍රාදේශීය ලේකවම්වරුන් සහ පොලීසිය දැනුවත් කර ඇති බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ඒ අනුව මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔවුන්ට සහයෝගය ලබා දෙන ලෙස සියලු මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළා.

රටතුල බරපතල යුද්ධයක් පැවැති අවස්ථාවකදීවත් කිසිදු විභාගයකට බාධාවක් එල්ල වූ අවස්ථාවක් අත්දැක නොමැති අතර වර්තමානයේ රටේ පවතින මෙවැනි තත්ත්වයක් තුල දී කිසිඳු බාධාවකින් තොරව දරුවන්ට විභාගය වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස අමාත්‍යවරයා ආයාචනා කරනවා.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් මේ වන විට දුම්රිය ඇතුළු සියලු ප්‍රවාහන සේවාවන්, පෞද්ගලික බස්රථ සංගමය, ඛණිජ තෙල් සංස්ථාව, පොලීසිය හා අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු වෘත්තීය සංගම් විභාගය කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ජුනි 01 දක්වා පවත්වා ගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබා දී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා සහභාගි වූ විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩි. ධර්මසේන මහතා ඉල්ලා සිටියේ සියලුම විභාග අපේක්ෂකයින්, විභාග කටයුතු භාර නිලධාරීන් නියමිත වේලාවටත් වඩා කලින් විභාග මධ්‍යස්ථාන වෙත, විභාග රාජකාරි කටයුතු වෙත වාර්තා කළ යුතු බවයි.

විභාගය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සාර්ථක ලෙස සූදානම් කළ ද විභාග මධ්‍යස්ථාන වෙත වේලාසනින් පැමිණිම අත්‍යවශ්‍ය වන අතර වෙනදාට වඩා කලින් උදයෙන්ම අවධි වී සුදානම් වී වේලාසන්න්ම පාරට යන්න යනුවෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා අවධාරණයෙන් ඉල්ලා සිටිනවා.

විභාග අයදුම්පත් යම් ආකාරයකට ඉදිරිපත් කළ නොහැකි තත්ත්වයේ පසුවන අපේක්ෂකයින් විභාග ශාලාධිපතිවරුන් දැනුවත් කර විභාගයට පෙනී සිටින ලෙසට දැනුම් දෙනවා.

තවද, හිජාබ් ඇඳුමෙන් සැරසී එන විභාග අපේක්ෂකයින් මුහුණු ආවරණය නොකර සාමාන්‍ය දිනවලදී ඔවුන් හිජාබ් නිල ඇඳුමින් සැරසී යන ආකාරයෙන් විභාග ශාලාව වෙත යන ලෙසටත් විභාග කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලීමක් කරනවා.

විභාගය ආරම්භ වී නියම්ත වේලාව පසුවී එන කිසිදු අපේක්ෂකයෙකු ආපසු හරවා නොයවන ලෙසට සහ විභාගයට පෙනී සිටීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසට ද ගුරු භවතුන්ට දැනුම් දෙනවා.

විභාග නීතිය අනුව විභාග අපේක්ෂකයෙක් යම් ප්‍රමාදවීමක් වුවහොත් පැය බාගයක පමණක් ප්‍රමාදය සලකා බලයි. නමුත් මෙවර පවතින තත්ත්වය මත දරුවන් හරවා නොයවා ප්‍රශ්න ප්‍රත්‍රය ලබා දීමටයි උපෙදස් ලබා දී ඇත්තේ.

ශාලාධිපතිවරුන් හා විභාග කටයුතු භාර අධ්‍යක්ෂවරුන් හා අධ්‍යාපන අමාත්‍යංශය සම්බන්ධීකරණය කරන WhatsApp සමූහයක් මගින් ගැටලු සාකච්ඡා කර අපේක්ෂකයින් වෙත සහනයක් ලබා දීමට අවශ්‍ය කටයුතු සලසා තිබෙනවා.

රටතුල පැවති විවිධ හේතුන් මත විෂය මාලාව ආවරණය කිරීමේ දී පැණ නැගුණු ගැටලු හමුවේ විභාග ප්‍රශ්න පත්‍රය ලිහිල් කර ගුණාමත්මක බව කිසිසේත්ම අඩුකළ නොහැකි බවත්, ලෝකයේ පිළිගත් ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සහතිකයේ වටිනාකමට හානි නොවන පරිදි අපේක්ෂකයින් පිළිතුරු සපයා ඇති ආකාරය බලා තීරණය කර ප්‍රතිපල ලබා දීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළා.

මෙම සියලු අභියෝග හමුවේ ඉතා සාර්ථකව විභාගයට මුහුණ දී පිළිතුරු සපයා විශිෂ්ඨ ප්‍රතිපල ලබා ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය සිසු දරුවන්ට ප්‍රාර්ථනය කළ අධ්‍යාපන අමාත්‍යවරයා ඒ සඳහා දෙමව්පියන් ද දරුවන්ට ශක්තියක් වී සහයෝගය දෙන ලෙසටයි ඉල්ලා සිටියේ.

මේ අතර හෙට ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාග රාජකාරීවල නිරත කාර්ය මණ්ඩලවලට බාධාවකින් තොරව පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව සළසන්නැයි විභාග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඉන්ධන ලබාගැනීමට විභාග රාජකාරිවල නිරත කාර්ය මණ්ඩල පිරවුම්හල් වෙත ගිය ද පෝලිම්වල රැදී සිටින ජනතාව ඔවුන්ට ප්‍රමුඛතාව ලබාදීමට මැලිකමක් දක්වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එවැනි සිදුවීමක් අද අරංගලවිල ඉන්ධන පිරවුම්හලෙන් වාර්තා වුණා.

විභාග රාජකාරි සදහා අනුයුක්ත කාර්ය මණ්ඩලවලට සිය විභාග රාජකාරි ලිපිය සහ ජාතික හැදුනුම්පත ඉදිරිපත් කර ආසන්නතම පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීමටයි අවස්ථාව සළසා දී තිබෙනවා.

මේ අතර, සාමාන්‍ය පෙළ ප්‍රශ්නපත්‍ර සහ නිලධාරි ප්‍රවාහනය සිදුකරන මෝටර් රථ සඳහා ලංකා ගමන ගමනා මණ්ඩලයේ පිරවුම්හල් මගින් අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දී ඇති බව එහි සභාපති නීතිඥ කිංස්ලි රණවක ප්‍රකාශ කළා.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කළේ සාමන්‍ය පෙළ විභාගය වෙනුවෙන් අවශ්‍ය බස්රථ ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර, පවතින ඉන්ධන අර්බුදය හමුවේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළමයින්ට විභාග මධ්‍යස්ථාන වෙත නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදීම සදහා විවිධ පුද්ගලයින් මේ වන විට ඉදිරිපත්ව සිටිනවා. වැලිගම ප්‍රාදේශිය සභාව සිය බල ප්‍රදේශය තුල පිහිටි විභාග මධ්‍යස්ථාන සදහා විභාග අපේක්ෂකයන්ට නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදීමට සැලසුම් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

2021 වසර සඳහා වන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය හෙට ආරම්භ වන්නේ මධ්‍යස්ථාන 3844කදියි. මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 517,496ක් පෙනී සිටිනවා.

විභාග අපේක්ෂකයන් කල්වේලා ඇතිව විභාග ශාලා වෙත යොමුකරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩි ධර්මසේන දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස්වරයා ඉල්ලා සිටියේ පැය දෙකකට කලින් හෝ විභාග ශාලාවට පැමිණිය හැකි නම් එය ඉතා යහපත් බවයි.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories