ගමන් බලපත්‍ර ලබාගත් 80%ක් තවමත් විදේශගත වී නොමැති බවට හෙළි වෙයි

Friday, 24 June 2022 - 7:31

%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+80%25%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9C%E0%B6%AD+%E0%B7%80%E0%B7%93+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජනවාරියේ සිට මේ දක්වා ගත වූ කාලය තුළ විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ 04ක් නිකුත් කර ඇතත් තවමත් විදේශගත වී ඇත්තේ, ඉන් 70,000ක් පමණක් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

එය ප්‍රතිශතයක් ලෙස ගත හොත් විදේශ ගමන් බලපත්‍ර ලබාගත් සංඛ්‍යාවෙන් 20%කටත් අඩු අගයක්.

දෛනික ව නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව ද මේ වනවිට 2400ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එක්දින සේවා යටතේ විදේශ ගමන් බලපත්‍ර දහසක් නිකුත් කෙරෙන අතර, සාමාන්‍ය සේවය යටතේ 800ක් නිකුත් කෙරෙනවා.

එමෙන්ම, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට පැමිණ අයදුම්පත් භාරදීමට නො හැකි වූ පුද්ගලයන්ට වෙනත් දිනයක් ලබාදෙන අතර, එලෙස දින ලබාදුන් 600කගේ පමණ විදේශ ගමන් බලපත්‍ර ද නිකුත් කිරීම දෛනික ව සිදු කරනු ලබනවා.

මේ වනවිට විදේශ ගමන් බලපත්‍රලාභීන් ලක්ෂ 35ත් 45ත් අතර ප්‍රමාණයක් සිටින අතර, පසුගිය අප්‍රේල් මාසයේ සිට විදේශ ගමන් බලපත්‍ර සකස් කර ගැනීම සඳහා පැමිණෙන්නන්ගේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ වූව ද පසුගිය සතියට පවා සාපේක්ෂ ව මෙම සතියේ සේවාලාභීන්ගේ පැමිණීමේ විශාල වැඩිවීමක් දක්නට ලැබෙන බව ද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් සේවාලාභීන්ගේ පැමිණීම ඉහළ ගිය ද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන්ට ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ වනවිට සේවයට පැමිණීමේ දී ද ගැටලු මතු ව ඇති බව යි වාර්තා වන්නේ.