සැමට හිමි බිමක් වැඩසටහනේ ඉඩම් ඔප්පු ප්‍රදානය අගමැති සුරතින් ඇරඹේ (ඡායාරූප)

Friday, 24 June 2022 - 17:02

%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%9A+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ඉඩම් හා නිවාසවල අයිතිය සඳහා ඔප්පුවක් නොමැති දස ලක්ෂ ගණනක් වූ පුද්ගලයන්ට, ඉඩම් හා නිවාස අයිතිය නිත්‍යානුකූලව ලබාදීමට තමන් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

“සැමට හිමි බිමක්” වැඩපිළිවෙළ යටතේ ඉඩම් අහිමි පවුල්වලට ඉඩම් හිමිකම ලබාදීමේ වැඩසටහන අද (24) උදෑසන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණු අතර, එහිදියි අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය මගින් මෙහෙයවනු ලබනවා.

භූමියේ නීත්‍යානුකූල හිමිකමක් නැති දිවයිනේ සිටින සියළුම පුද්ගලයන්හට ඉඩමේ අයිතිය ලබාදීමේ පළමු පියවර අද දින සිට "හිමි බිම" ඔප්පු ප්‍රදානය මගින් සිදුවන බව වැඩසටහන ආරම්භ කරමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

උපන් බිමේ ඉඩක් අහිමි අයට නිත්‍යානුකූල අයිතියක් ඇති බිමක් ලබාදීමේ අරමුණින් සකස් කළ මෙම වැඩසටහන යටතේ සෑම සතියකටම ඔප්පු 1000 ක් 3000 ක් අතර ප්‍රමාණයක් බිමේ හිමිකරුවන්ට ලබාදීමට කටයුතු යොදා ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ.

මෙම වැඩසටහනට සමගාමීව හිමිකම ඔප්පු ලබාදීම පුත්තලම හා කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ දී අද සිදු කෙරුණා.

හිමිකම ඔප්පු ප්‍රදානය සංකේතවත් කරමින් පැවැති මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති සහ ඉඩම් කොමසාරිස් ජනරාල් ඇතුළු නිලධාරීන් හා ඔප්පුලාභීන් පිරිසක් එක් ව සිටියා.