පෙට්‍රල් නෞකාව අදත් නොඑන බව ඇමති කියයි (වීඩියෝ)

Friday, 24 June 2022 - 19:04

%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%91%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඊයේ (23) දිනයේ දී මෙරටට පැමිණීමට නියමිත ව තිබූ පෙට්‍රල් නෞකාව අද (24) දිනයේදීත් නොපැමිණෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත අදාළ සැපයුකරුවන් විසින් දැනුම්දී තිබෙනවා.

ඒ අනුව විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, අදාළ නෞකාවේ පැමිණීම තවදුරටත් ප්‍රමාදයක් ඇති බවයි.

ඒ පිළිබඳ ව තමන් සමාව ද අයදින බවයි අමාත්‍යවරයා දන්වා ඇත්තේ.

එමෙන්ම නැව පැමිණීමේ දිනයක් ගැන පසුව තහවුරු කරන බවට ද අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

මේ අතර සෞඛ්‍ය සේවකයින්ට අවශ්‍ය ඉන්ධන ලබා දීම සඳහා රට පුරා ඉන්ධන පිරවුම්හල් 85ක් වෙන් කළ බවත් එම පිරවුම්හල් සඳහා පෙට්‍රල් ලීටර 6,600 ක් සහ ඩීසල් ලීටර 6,600 බැගින් බෙදා දුන් බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.

එමෙන්ම සංස්ථාවට බෙදා හැරීමට හැකි ඉන්ධන ප්‍රමාණයන් පිළිබඳව සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී තිබූ බවයි අමාත්‍ය කංචන විජේසේකර අදාළ ට්විටර් පණිවුඩයන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

රාජකාරියට පරිබාහිරව යමින් පිරවුම්හල් තුල ඉන්ධන ගබඩා කර ඇති ටැංකි විවෘත කරන පොලිස් නිලධාරින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස්පතිවරයා දැනුම් දී තිබෙනවා.

සියලුම පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇත්තේ පිරවුම්හල් තුල ඉන්ධන ගබඩා කර ඇති ටැංකි විවෘත කර ජනතාවට පෙන්වීම හා පවතින ඉන්ධන තොග ප්‍රමාණයන් පෙන්වීම වැනි කාර්යයන් සඳහා ඇතැම් පොලිස් නිලධාරින් මැදිහත්ව කටයුතු කරන බව නිරීක්ෂණය වී ඇති බවයි.

එය පොලිස් නිලධාරින්ගේ කාර්යයක් නොව ඛනිජ තෙල් සංස්ථාවේ හෝ ඉන්ධන පිරවුම්හලේ හිමිකරු හෝ සේවකයින්ගේ රාජකාරියක් බව, පොලිස්පතිවරයා සිය චක්‍රලේඛයෙන් පෙන්වා දී තිබෙනවා.

එබැවින් කිසියම් නිලධාරියෙකු මෙම උපදෙස් වලට පටහැනිව ක්‍රියා කළහොත් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි පොලිස්පතිවරයා උසස් පොලිස් නිලධාරින්ට දැනුම්දී ඇත්තේ.

මේ අතර, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා තෝරා ගත් පිරවුම්හල් වලින් ඉන්ධන ලබාදීමේ වැඩසටහනේ අඩුපාඩු සැලකිල්ලට ගෙන මීළග සතියේදී එය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.

තෝරා ගත් පිරවුම්හල් 74 කදී මෙම වැඩසටහන අද පෙරවරුවේ ආරම්භ වූ අතර එහිදී පවතින පෙට්‍රල් හිඟය නිසා එම වැඩපිළිවෙලට බාධා එල්ල වූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

එහිදී ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන නොමැති බව පවසමින් ඔවුන් හරවා යැවීමට කටයුතු කර තිබුණා.

මේ හේතුවෙන් ප්‍රදේශ රැසක රෝහල් කටයුතුවලට ද බාධා එල්ල වුණා.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල රැඳී සිටීම හේතුවෙන් කඹුරුපිටිය මූලික රෝහල, ඇල්පිටිය - නියාගම ප්‍රාදේශීය රෝහල ඇතුළු දිවයිනේ රෝහල් රැසක ප්‍රතිකාර සේවා ඇණ හිට තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

එසේම, ඉන්ධන ලබා ගැනීම සඳහා රෝහල් පාලනාධිකාරිය විසින් ක්‍රමවේදයක් සකසා නොමැති බවට චෝදනා කරමින් මාතර මහරෝහලේ සේවකයින් අද වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබුණා. ඒ හේතුවෙන් මාතර මහරෝහලේ හදිසි ප්‍රතිකාර හැර අනෙක් සියලු ප්‍රතිකාර සේවා අඩාල වුණා.

මීට අමතරව, මැදිරිගිරිය නගරයේ ඉන්ධන පිරවුම්හල් වලින් මැදිරිගිරිය රෝහලේ සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබා නොදෙන බවට පවසමින් සෞඛ්‍ය සේවකයින් අද එම රෝහල ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා. ඒ හේතුවෙන් අද පෙරවරුවේ රෝහල් කටයුතු පැය 4 ක් පමණ අඩපණ වූ බව අප වාර්තාකරු සඳහන් කළා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ පවතින තත්වය හමුවේ ඉදිරි සතිය තුළ සමස්ත සෞඛ්‍ය සේවයම අඩාලවීමේ අවදානමක් මතුව ඇති බවයි.

කෙසේ වෙතත්, ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලින් සෞඛ්‍ය සේවකයින් හට ගැටලුවකින් තොරව ඉන්ධන ලබාදීම සිදුකෙරුණු අයුරු ද දක්නට ලැබුණා.

මේ අතර, කුරුණෑගල නගරයේ සමූපකාර ඉන්ධන පිරවුම්හලේ සෞඛ්‍ය සේවකයින්ට ලබාදීමට තිබූ පෙට්‍රල් ලීටර් 3500 ක් කුරුණෑගල නගර සභාවේ සේවකයින් පිරිසක් විසින් බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇතැයි වයඹ පළාත් ආණ්ඩුකාර ලේකම් කමල් අමරසිංහ මෙලෙස චෝදනා කළා.

අනුරාධපුර - පණ්ඩුලගම ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක රැදී සිටි තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු මාර්ගයේ ගමන්ගත් ලොරි රථයක ගැටී අද අලුයම මියගොස් තිබුණේ ද මෙවන් පසුබිමකයි.

එසේම, ඉන්ධන ලබා ගැනීම සඳහා ගාල්ල - අම්බලන්වත්ත ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක තිබූ ත්‍රිරෝද රථයක ගැටී එම මාර්ගයේ ගමන් කළ යතුරුපැදිකරුවෙකු ජිවිතක්ෂයට පත්වීමේ පුවතක් ද අද අලුයම වාර්තා වුණා.

මේ අතර, අද දිනයේදී පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 40,000 ක් රැගෙන දිවයිනට පැමිණෙන බවට ප්‍රකාශ කෙරුණු නෞකාව සම්බන්ධයෙන් මෙතෙක් නිෂ්චිතව තොරතුරු වාර්තා වන්නේ නැහැ. කෙසේ වෙතත්, ඉන්ධන ලබා ගැනීම සඳහා අද දිනයේදීත් ජනතාව කිලෝමීටර් ගණන් දිගු පෝලිම්වල රැදී සිටිනවා.

ඉන්ධන ඉල්ලා සිදුකළ විරෝධතාවක් හේතුවෙන් මරදාන - පංචිකාවත්ත සංඝරාජ වටරවුම ආශ්‍රිතව අද පෙරවරුවේ රථ වාහන තදබදයක් හට ගෙන තිබුණා.

කතානායකවරයාගේ පුත්‍රයා බව පවසා අඹතලේ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් අවස්ථා කිහිපයකදී ඉන්ධන ලබා ගත් ව්‍යාජ පුද්ගලයෙකු ද අද හඳුනා ගැණුනා.

බලපත්‍ර නොමැතිව ඉන්ධන ගබඩා කරගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු මාතර - වල්ගම සහ පූගොඩ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී ඩීසල් ලීටර් 800 ක් සහ පෙට්‍රල් ලීටර් 32 ක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර, ඉන්ධන මිල සංශෝධනයක් සම්බන්ධයෙන් මේ දිනවල විවිධ වාර්තා පළ වන අතර, එම මිල සංශෝධනය සිදුවිය යුත්තේ අද දිනයේ බව ද එම වාර්තවල සඳහන්.

කෙසේ වෙතත්, ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් මෙතෙක් මිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් වී නැහැ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ ඉන්ධන මිල වැඩිවිය යුතු බවටයි.