විපක්ෂ නායක ශාස්ත්‍රපති විභාගය සමත්වෙයි

Friday, 24 June 2022 - 20:41

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%81%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජන පිඩක තවත් දේශපාලන සතියක් ගෙවී ගියා.

ජනතාව මුහුණදෙන දහසකුත් ප්‍රශ්න විසඳීම සඳහා සහ රටේ ප්‍රශ්න විසදීම සඳහා ආණ්ඩුවේ ප්‍රධානින් යම් යම් උත්සාහයන්වල වෙනදාට වඩා නිරත වන බවක් දකින්නට ලැබුණා.

නමුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ පම්පෝරිවල නම් අඩුවක් දකින්නට ලැබුණේ නෑ.

ජනාධිපතිවරයා ජ්‍යේෂ්ඨ ඇමතිවරු හමුවෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු කොටුව ජනාධිපති මන්දිරය වෙත කැඳවා තිබුණා.

තනි තනිවම පැමිණි ඔවුන් සමඟ ජනාධිපතිවරයා රටේ පවතින අර්බුද පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.ඒවගේම පසුගිය දා ඇතිවූ ආරවුල් නිසා පීඩාවටපත් මන්ත්‍රීවරුන් පිළිබඳව ද මෙහිදී කතාබහ ඇති වී තිබෙනවා.

පවතින අර්බුදයන්වලින් රට ගොඩ ගැනීම සඳහා ජ්‍යේෂ්ඨ ඇමතිවරුන්ගේ සහාය අවශ්‍ය බව ද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබෙනවා.

මෛත්‍රී හමුවෙන්න පොළොන්නරු ගිය අමුත්තා

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීම සඳහා චීන තානාපති ඔහුගේ බිරිඳ සමග පොළොන්නරුවට ගියා. චීන තානාපතිවරයා තමාව හමු වීමට එන බව කල් තියාම දැනගෙන සිටි මෛත්‍රීපාල ඔහුව පිළිගැනීම සඳහා බලාගෙන සිටියා. මෛත්‍රීපාල සිරිසේනගේ පොළොන්නරු නිවසට පැමිණි චීන තානාපතිවරයා සහ ඔහුගේ බිරිඳ හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත්තා.

වර්තමානයේ රටේ ඇති වී තිබෙන බරපතළ කඩාවැටීම සම්බන්ධයෙන්යෙන් දෙදෙනා අතර ඉතා දීර්ඝ අදහස් හුවමාරුවක් සිදු වුණා. ‍මෛත්‍රීපාල සිරිසේන චීන තානාධිපති වරයාට පවසා ඇත්තේ ශ්‍රී ලංකාවට මේ මොහොතේ චීනයේ සහාය අත්‍යවශ්‍ය බවයි. එමෙන්ම තමා ජනාධිපතිවරයාව සිටි කාලයේ පොලොන්නරුවට වකුගඩු රෝහලක් පරිත්‍යාග කිරීම පිළිබඳව ද චීන රජයට මෙහිදී ස්තුතිය පුදකිරීමට ද හිටපු ජනාධිපතිවරයා අමතක කළේ නෑ. මේ මොහොතේ ශ්‍රී ලංකාවට චීනය සෑම මොහොතකම උපකාර කිරීමට සූදානම් බව චීන තානාපතිවරයා මෙහිදී පැවසුවා.

හවුල් පක්ෂ නවය නිරතුරුවම රැස්වෙයි

විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, ඩිව් ගුණසේකර, ගෙවිඳු කුමාර කුමාරතුංග, මොහොමඩ් මුසම්මිල් ඇතුලු හවුල් පක්ෂ නමය පසුගිය සතියේ ද රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් බොරැල්ල කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා.

විශේෂයෙන් මේ මොහොතේ රටට අත්‍යවශ්‍ය වන්නේ නොකඩවා ඉන්ධන සැපයුමක් පවත්වා ගැනීමයි.ඒ සඳහා රජය ගනු ලබන උත්සාහය ප්‍රමාණවත් නොවන බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ. ඒ අනුව රුසියාවෙන් මෙරටට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම පිළිබඳව හවුල් පක්ෂ නවයයි ඉදිරියට ආ යුතු බව මෙහිදී එකඟතාවයක් ඇතිකර ගනු ලැබුවා.

ඒ අනුව රුසියානු තානාපතිකාර්යාලයෙන් ඒ පිළිබඳව ඉල්ලීමක් කිරීමටද ඔවුන් තීරණය කළා.

විපක්ෂ නායකවරයා බහුජන සංවිධාන නියෝජිතයින් හමුවෙයි.

රටේ පවතින බරපතළ කඩා වැටීම පිළිබඳව සහ ඉදිරියේදී කළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා බහුජන සංවිධාන නායකයින් සමග විපක්ෂ නායක කාර්යාලයේ දී ඉකුත් සතියේ ඉතා දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වූවා. මෙම සාකච්ඡාවට කවුරුත් පුදුමයට පත් වෙන අමුත්තෙකු පැමිණ සිටියා.

ඒ වියත්මග සංවිධානය හරහා දේශපාලනයට පැමිණි ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉතා සමීප හිතවතකු නාලක ගොඩහේවායි.

ඔහු දුටු බොහෝ දෙනා විමතියට පත්ව ඔහු දෙස බලා සිටියත් නාලක ගොඩහේවාට එය අමුත්තක් වුණේ නෑ. ඔහු මෙම හමුව සඳහා සහභාගි වී ඇත්තේ විපක්ෂ නායකවරයා විසින් ඔහුට කළ ආරාධනයකට අනුවයි.

වික්ටර් අයිවන්, ප්‍රසන්න විතානගේ, නදී වාසලමුදලි, විරාජ් අබේරත්න, ජනක විරසින්හ, ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයන් රැසක් මේ සඳහා එක්ව සිටියා.රට මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳව සහ එයින් ගොඩ එන්න ක්‍රමවේදය සම්බන්ධයෙන් සකස් කළ විශේෂ ඉදිරිපත් කිරීමක් වික්ටර් අයිවන් විසින් මෙහිදී ඉදිරිපත් කළා. මෙම බහුජන සංවිධාන හමුව පැවැත්මට මූලික වී ඇත්තේ ද වික්ටර් අයිවන් විසින් විපක්ෂ නායකවරයාගෙන් මේ පිළිබදව කරන ලද ඉල්ලීමකට අනුවයි.

රවුෆ් හකීම්, මනෝ ගනේෂන්,පි දිගම්බරන් එම් .සුමන්තිරන් ඇතුළු පක්ෂ නායකයන් කීප දෙනෙකු ද මීට සහභාගි වී සිටියා. සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, තලතා අතුකෝරල, හර්ෂ ද සිල්වා, සරත් රත් ෆොන්සේකා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් ද මීට සහ සහභාගි වී සිටියා.

''මේ වෙලාවේ රට වැටී තිබෙන තත්වයෙන් ගොඩගැනීම සඳහා තමන් ඕනෑම කැපකිරීමක් කිරීම්ට සුදානම්. ආණ්ඩුවට රටවත් ජනතාවත් මේ අර්බුදවලින් ගොඩගන්න උවමනාවක් නෑ. රට ගොඩගන්න ඔලුගෙඩිවලින් පමණක් කරන්න බෑ. සැලැස්මක් ,අලුත් ක්‍රමවේද අවශ්‍යයි. ඒ නිසා බහුජන සංවිධානවල සියලු අදහස් ක්‍රියාත්මක කරන්න මම සූදානම්.'' සජිත් ප්‍රේමදාස පැවසුවා.

වික්ටර් අයිවන්, නදී වාසලමුදලිආරච්චි ඇතුළු බහුජන නියෝජිතයින් ද මෙහිදී ඉතා දීර්ඝව සිය අදහස් ඉදිරිපත් කළා.

සජිත් ශාස්ත්‍රපති උපාධිය ලබයි.

විපක්ෂ නායකවරයා සිය උසස් අධ්‍යාපන කටයුතු පවතින කාර්ය බහුල දේශපාලන වටපිටාව තුළම සාර්ථක කරගැනීමට සමත් වී තිබෙනවා. පරිසරය පිළිබඳව බොහෝ උන්නදුවක් දක්වන ඔහු සිය ශාස්ත්‍රපති විභාගයට පෙනී සිටියේ ද පරිසර විද්‍යාව විෂය ක්ෂේත්‍රය හරහායි. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සජිත්ගේ විශ්වවිද්‍යාලය වුණා.

විශිෂ්ට සාමාර්ථ දෙකක් සහිතව ශ්‍රාස්ත්‍රපති විභාගයේ විෂයන් සියල්ලම ඔහු මේවන විට සමත්වී තිබෙනවා. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ තනතුරේ සිටියදී විපක්ෂ නායකවරයෙකු ශාස්ත්‍රපති උපාධිය සමත් වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි දේශපාලන විචාරකයෙන් පවසන්නේ. තම නායකයාගේ මෙම හපන්කමට සමගි ජන බලවේගය නායකයින් සුභ පැතුම් එක්කරන්න අමතක කරන්න අමතක කර තිබුණේ නෑ.

''ඉගෙන ගන්න එකට වයසකුත් නෑ, ඉගෙනගන්න වෙලාවක් නෑ කියලා එකකුත් නෑ''. තමන්ට සුබ පැතුම් එක්කර සියලු දෙනාට සජිත් පැවසුවේ එවැන්නක්.''මම හැමදාම හැමෝටම කියන්නේ මොන චෝදනා, ගැරහුම් එල්ල වුනත් අපි ඒවා ගැන සිතමින් පසුගාමී නොවී අපගේ සුදුසුකම් සම්පූර්ණකර ගතයුතු බවයි'. සජිත් එසේ ද පැවසුවා.

''ඇත්තටම අපට මතකයි නායකතුමා මීට පෙරත් අවස්ථා ගණනාවකදී ම අපිට අධ්‍යාපන කටයුතුවල නිරත වෙන්න කිව්වා. ඒ වෙනුවෙන් පක්ෂයෙන් උදව් කරන්න පුළුවන් කියලත් කිව්වා. නමුත් අපිට ඒ සඳහා උනන්දුවක් තිබුණේ නෑ. අද ඔබ එය ක්‍රියාවෙන්ම කරලා පෙන්නුවා.'' සජිත්ට සුබ පතන්න පැමිණි කින්ස් නෙල්සන් පැවසුවා.

ජාතික ජන බලවේගයේ විධායක සභාවට නියෝජිතයන් පත්කෙරේ

ජාතික ජනබල වේගයේ විධායක සභාවට නියෝජිතයන් හැට පස් දෙනෙකු පසුගිය සතියේ පත්කෙරුණා. ඒ මහරගම තරුණ සේවා සභා ශාලාවේදීයි. මෙහිදී ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව ද පැවැත්වුණා. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ,ලක්ෂ්මන් විහාරආරච්චි, නීතිඥ ලක්ෂ්මන් වික්‍රමආරච්චි, ආචාර්ය හරිනි අමරසූරිය ,හා තවත් කිහිප දෙනෙකු මේ සඳහා සහභාගි වුණා.

පක්ෂයේ තරුණ කලාකරුවන්ගේ අපූරු කලා අංගයන් කිහිපයක් ද මෙහි දී පැවැත්වුණා .