ගෝලීය ආර්ථික අර්බුදය මැද රුසියානු රූබලය ශක්තිමත් වෙයි

Friday, 24 June 2022 - 22:34

%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B7%93%E0%B6%BA+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BB%E0%B7%96%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලොව පුරා ඇතැම් ආර්ථිකයන් ඩොලරයට සාපේක්ෂව අව ප්‍රමාණය වෙමින් පවතින පසුබිමක රුසියානු රූබලය ගෙවුණු මාස කිහිපය තුළ ශක්තිමත් වී තිබෙනවා.

ඒ අනුව මේ වන විට ලොව විශිෂ්ටතම කාර්ය සාධනයක් සහිත මුදල් ඒකකය බවට රුසියානු රූබලය පත්ව තිබෙන්නේ අමෙරිකානු ඩොලරයක
විකුණුම් මිල රුසියානු රූබල් 53ක් තරම් අඩු අගයක් දක්වා පහත දමමින්.

රුසියාව යුක්රේන ආක්‍රමණය ආරම්භ කළ දිනයේදී අමෙරිකානු ඩොලරයක වටිනාකම රුසියාව තුළ දැක්වුණේ රූබල් 85ක් ලෙසයි.

පසුව යුද ආක්‍රමණය හමුවේ බටහිර රාජ්‍යයන් රුසියාවට ආර්ථික සම්බාධක පැනවුවද මේ වන විට අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුසියාව තුළ සටහන් වන්නේ රූබල් 53ක් ලෙසයි.

මේ වන විට රුසියානු රූබලය ලොව හොඳම කාර්ය සාධනයක් පෙන්නුම් කරන මුදල් ඒකකය බවට පත්වෙමින් තිබෙනවා.

රුසියානු - යුක්රේන යුද තත්ත්වය හමුවේ රුසියාවට පීඩනයක් එල්ල කරමින් බටහිර රාජ්‍යයන් සම්බාධක පැන වූ අතර එවන් පසුබිමක රුසියානු ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා රුසියානු මහ බැංකුව නව මූල්‍ය ප්‍රතිපත්ති හඳුන්වා දුන්නා.

බටහිරට සැපයූ ගෑස් සහ ඛනිජ තෙල් සඳහා මෙතෙක් රුසියානු ගනුදෙනු සිදු කළේ යුරෝ මුදල් ඒකකයෙන් වුව ද හඳුන්වාදුන් නව ප්‍රතිපත්ති හරහා බටහිර රාජ්‍යයන්ට එම ගෙවීම් සිදුකිරීමට සිදු වු‍යේ රුසියානු රූබල්වලින්.

මේ හේතුවෙන් රුසියානු රූබලයට පැවති ඉල්ලුම ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

එසේම වරාය කටයුතු නිසි කළමනාකරණයකින් සිදුකිරීම හරහා ආනයන සීමා කිරීම තුළින් ඩොලර් සඳහා පැවති ඉල්ලුම කළමනාකරණය කර ගැනීමට ඔවුන් සමත් වුණා.

මෙවැනි නව ප්‍රතිපත්ති හරහා රුසියානු රූබලය ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් කිරීමටයි රුසියාව පියවර ගත්තේ.

2015 වසරෙන් පසුව රුසියානු රූබලය වාර්තා කළ ශක්තිමත්ම වෙළෙඳ පොළ වටිනාකම මෙය බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

ජපානය, දකුණු කොරියාව, පිලිපීනය ඇතුළු රටවල මුදල් ඒකක මේ වන විට ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වීම් වාර්තා කරනවා.

යුරෝපයේ ශක්තිමත්ම ආර්ථිකය සහිත බ්‍රිතාන්‍යයේද උද්ධමනය 9.1%ක් ලෙස පසුගිය මාසය තුළ දී ඉහළ ගොස් තිබෙනවා.

එය වසර 40ක ඉතිහාසය තුළ එරටින් වාර්තා වූ වැඩිම උද්ධමන අගයවනවා.

ලොව ධනවත් රාජ්‍යයන් 7කින් සැදුම්ලත් ජී 7 රටවල් අතුරින් ද ඉහළම උද්ධමන අගයක් මේ වනවිට වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයෙන්.

ඉහළ යන ජීවන වියදම හමුවේ ඊට සරිලන වැටුප් ලබාදෙන ලෙස ඉල්ලමින් එරට දුම්රිය සේවකයන්ගේ වැඩවර්ජනය ද තවදුරටත් ක්‍රියාත්මකයි.