ඛනිජතෙල් ඇමැති පාඩුවට හේතු කියද්දී, IOC සමාගමට මාස 03කදී බිලියන 09ක ලාභයක් (වීඩියෝ)

Friday, 05 August 2022 - 17:11

%E0%B6%9B%E0%B6%B1%E0%B7%92%E0%B6%A2%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%2C+IOC+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+03%E0%B6%9A%E0%B6%AF%E0%B7%93++%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+09%E0%B6%9A+%E0%B6%BD%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබීමට මූලික වශයෙන් හේතු වූ කරුණු 8ක් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනවා.

ඒ ට්විටර් පණිවුඩයක් ඔස්සේයි. අමාත්‍යවරයා මෙහිදී ඉස්මතු කරන පළමු කාරණය වන්නේ ඛනිජ තෙල් නීගිතත සංස්ථාව විසින් දීර්ඝ කාලයක් තිස්සේ සහනදායි මිලට සිය නිෂ්පාදන අලෙවි කිරීම මීට හේතුවී ඇති බවයි.

එමෙන්ම පසුගිය මාර්තු මාසයෙන් පසු සිදුවූ ශ්‍රී ලංකා රුපියලේ දැවැන්ත බිඳ වැටීමට ද මෙම පාඩුව තවත් තිවෘර කිරීමට හේතුවි ඇති බව ඔහු පෙන්වා දෙනවා.

එම කාලසීමාව තුලදී දින 90 සහ දින 180 අතර සිදු කෙරුණු පසුව මුදල් ගෙවීමේ මිලදී ගැනීම්වලදී ඇමරිකානු ඩොලරයක මිල සටහන් වී ඇත්තේ 367ත් 390ත් අතර සීමාවේ බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

බලශක්ති අමාත්‍යවරයාගේ සැලකීම අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අධික පාඩු ලැබීමට හේතුවී ඇති තෙවැනි කාරණය වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය තෙල් සංස්ථාවට ගෙවීම පැහැර හැර ඇති මුදල් ප්‍රමාණයයි.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 300ක් සහ විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 60ක් තෙල් සංස්ථාවට ගෙවිය යුතුව ඇති බවයි එම ට්විටර් පණිවුඩයේ සඳහන් වන්නේ.

මීට අමතරව මතුවූ මූල්‍ය අර්බුද හේතුවෙන් බැංකු අණකරවල පොලිය ඉහළ යාම ආනයනය කරන ලද ඉන්ධන තොග ගොඩබෑමේදී සිදුවූ ප්‍රමාදයන් හේතුවෙන් අදාළ නැව් සමාගම් වෙත කෙරුණු ගෙවීම් ආදියත් ඉහළ ගොස් ඇති බව ඔහුගේ ට්විටර් පණිවුඩයේ සඳහන්.

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට අනුව තෙල් සංස්ථාව පාඩු ලැබීම සඳහා පස්වැනියට බලපා ඇති කාරණය වන්නේ සේවක අතිරික්තය අකාර්යක්ෂමතාව සහ අධික වේතන ගෙවීමයි.

ඒ යටතේ ඔහු වසර 2012 දී සාමූහික එකගතාවක් මත තෙල් සංස්ථාවේ සේවකයින් සියල්ලට සිදු කළ සියයට 25ක පඩි වැඩි කිරීම බරපතල හේතුවක් වී ඇති බව පෙන්වා දෙනවා.

එමෙන්ම තෙල් සංස්ථාව සතුව ඇති සපුගස්කන්ද තෙල් පිරිපහදුව සම්පූර්ණ වශයෙන් භාවිත නොකර නිමි ඉන්ධන ආනයනය සඳහා තෙල් සංස්ථාව යොමු වීමත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලාභයන් අධික කිරීමට හේතුවී ඇති බව ඔහුගේ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

මීට අමතරව ඉන්ධන ප්‍රවාහනයේදී දැරීමට සිදුව ඇති අධික ප්‍රවාහන ගාස්තුවත් මෙම බිඳ වැටීම් ඉක්මන් කර ඇති බව පෙන්වන අමාත්‍යවරයා එය ශ්‍රේණිගත කර ඇත්තේ 8 වැනි ස්ථානයටයි.

මේ අතර තෙල් අර්බුදය උග්‍රව පැවැති අප්‍රේල්, මැයි, ජූනි කාර්තුව තුලදී පමණක් ලංකා අයි.ඕ.සී, සමාගම දැවැන්ත ලාභයක් උපයාගෙන තිබෙනවා.

එම කාර්තුවේ මූල්‍ය ප්‍රකාශනය ලංකා අයි.ඕ.සී. සමාගම අද කොළඹ කොටස් හුවමාරුව වෙත ඉදිරිපත් කළ අතර එහි දැක්වෙන්නේ බදු ගෙවීමෙන් පසු සමාගම, රුපියල් බිලියන 9.92ක ලාභයක් උපයා ඇති බවයි.

මෙය 2021/2022 මූල්‍ය වර්ෂයටම එල්.අයි.ඕ.සී. සමාගම වාර්තා කර තිබූ ලාභය මෙන් දෙගුණයකටත් වැඩි අගයක් වීම විශේෂත්වයක්. එම මූල්‍ය වර්ෂයේදී සමස්ථ මූල්‍ය වර්ෂයටම ලංකා අයි.ඕ.සී. සමාගම බදු ගෙවීමෙන් පසු රුපියල් බිලියන 4.8ක ලාභයක් උපයා තිබුණා.

2020/2021 මූල්‍ය වර්ෂය තුලදී ලංකා අයි.ඕ.සී. සමාගම බදු ගෙවීමෙන් පසු වාර්තා කර තිබූ ලාභය රුපියල් මිලියන 876ක්.

පසුගිය වසර කීපයේදී ඛනිජතෙල් නීතිගත සංස්ථාව අඛණ්ඩව අලාභ ලබමින් පවතින තත්ත්වයක් තුළ එම සංස්ථාව සමග මෙරට ඉන්ධන අලෙවිය සිදුකරන එල්.අයි.ඕ.සී. සමාගම ක්‍රමිකව සිය ලාභය ඉහළ නංවා ගනිමින් පවතින බව මෙම සංඛ්‍යා දත්ත පිරික්සීමේදී තහවුරු වනවා.