අරගලකරුවන් සමග විනිවිදභාවයෙන් කටයුතු කිරීමට සූදානම් - ජනපති (වීඩියෝ)

Friday, 05 August 2022 - 18:18

%E0%B6%85%E0%B6%BB%E0%B6%9C%E0%B6%BD%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අරගලකරුවන් සහ තරුණ පරපුර සමග විනිවිදභාවයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

දැන් ඇත්තේ ආර්ථික අරගලය ජය ගැනීම බව කරුණු සහිතව පෙන්වා දුන් ජනාධිපතිවරයා අරගල භූමියේ සිටින සියලු තරුණ තරුණියන් එම ආර්ථික අරගලයේ ජයග්‍රහණය සඳහා සෑම අයුරකින්ම දායකකර ගැනීමට තමන් අපේක්ෂා කරන බවයි කියා සිටියේ.

ගාලු මුවදොර අරගලකරුවන්ගේ පාර්ශ්ව කිහිපයක් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් අද (05) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේශපාලනයට සහ ප්‍රචණ්ඩත්වයට තමන් විරුද්ධ බවත් මර්ධනය වෙනුවෙන්ම කටයුතු කරන පිරිස් විශ්වවිද්‍යාල ක්‍රියාවලිය තුළින්ම නවකවදය නවතා යහපත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් ඉදිරිපත් විය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා.

වර්තමානයේ මෙරට විශ්ව විද්‍යාල පද්ධතියම කඩා වැටීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ නවක වදය බවයි ඔහු කියාසිටියේ.

වර්ජන සෑම කාලයකම පැවතුන ද වර්ජන මතින්ම රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත්, සාකච්ඡා තුළින් මැදිහත් තැනකට පැමිණ ඉල්ලීම් දිනා ගන්නවා සේම රට වෙනුවෙන් කළයුතු කාර්යයන් ඉටුකළ යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

සියලු අරගලකරුවන් නියෝජනය කරමින් යම් ප්‍රධාන කණ්ඩායමක් සකසා ගන්නා ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා එම කණ්ඩායමට සියලු ආගම් නියෝජනය සහ කාන්තා නියෝජනය ද අත්‍යාවශ්‍ය බවයි සඳහන් කළේ.

තමන් විසින් තරුණයින්ගේ අවශ්‍යතා රාජ්‍යයේ ද අනුග්‍රහය සහිතව පවත්වාගෙන යාම සඳහා කොළඹ කොටුව පාවෙන වෙළෙඳ සැළ සහ තවත් ස්ථාන කිහිපයක් යෝජනා කිරීමට කැමති බවත්, ඒ වෙනුවෙන් වන විධිමත් යෝජනාවලියක් බහුතර අරගලකරුවන්ගේ මැදිහත්වීමෙන් සකස් කර ඉදිරිපත් කරන ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියා.

එම ක්‍රියාවලිය තුළ අධ්‍යාපනය සඳහා වූ පුස්තකාල, දේශපාලන අධ්‍යයනය සඳහා වන පහසුකම්, සංගීතය, චිත්‍ර කලාව, වේදිකා නාට්‍ය හා අනෙකුත් තරුණ කුසලතා සහ අවශ්‍යතා ඉටුකරගත හැකි එක් මධ්‍යස්ථානයක් බවට එය පත්කර ගතයුතු බවයි ඔහු සඳහන් කළේ.

හදිසි නීතිය හැකි ඉක්මණින් ඉවත් කිරීම රටේ ආර්ථික සහ සමාජ ස්ථායීතාවයට වැදගත් වනවා සේම පවතින තත්ත්වයන් හේතුවෙන් රටේ පාලනයට ද එහි බලපෑමක් පවතින බව ද ජනාධිපතිවරයා මෙහිදී කියසිටියා.

අද වන විට LGBT ප්‍රජාව සම්බන්ධයෙන් හදිසි නීතිය මත ගැටලුකාරී තත්ත්වයක් පැන නගින බවට තමන් වෙත වාර්තා වී ඇති බවත් එය ඉවත් කිරීම සඳහා අවශ්‍ය නීති පසුබිම සකස් කරන ලෙස තමන් විසින් නීතිපතිවරයාව දැනුවත් කොට ඇති බවයි ඔහු පැවසුවේ.

තවද ජන සභා ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් පාර්ශ්ව කිහිපයකින්ම තමන් වෙත යෝජනා ඉදිරිපත් වී ඇති බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන සතියේ දී එම වැඩසටහන නියමිත පාර්ශ්ව සමග සාකච්ඡා කරන බව සඳහන් කළා.

අරගලකරුවන් නියෝජනය කරමින් පැමිණි පාර්ශ්ව මෙහිදී ඉල්ලා සිටියේ, සාමකාමී පොදුජන අරගලයට සම්බන්ධ අරගලකරුවන් සහ ක්‍රියාකාරිකයන් අනීතිකව හෝ අත්තනෝමතිකව සිදුවන අත්අඩංගුවට ගැනීම් නැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසයි.

මේ වන විටත් කිසිදු වරදක් නොකොට භූමියේ රැදී සිටින බොහෝ අරගලකරුවන් ඉන් පිටතට යෑමට බියව සිටින්නේ අත්අඩංගුවට ගැනීම් සිදුවන නිසාවෙන් බව ද ඔවුන් පෙන්වා දී තිබෙනවා.

අරගලයේ අපහසුම කොටස දැන් ඇරඹී ඇති බව සඳහන් කළ අරගලකරුවන් රටේ සමස්ත ජනතාවගේම චින්තන විප්ලවයක් ඇතිකරගත යුතු බව ද සඳහන් කළා.

තරුණ පරම්පරාව අසීමිත කැපවීමකින් රටට මහත් බලාපොරොත්තුවක් ඇති කර ගැනීම උදෙසා මෙම අරගලය සිදු කළ බවත්, එහි සාධනීය ප්‍රතිඵලයක් ව්‍යවස්ථානුකූලව ඇතිකර ගැනීම තමන්ගේ අපේක්ෂාව බව ඔවුන් පෙන්වා දී තිබෙනවා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, සමාජ ප්‍රතිසංස්කරණ ඇතුළු රට විධිමත් හා ස්ථායී තත්ත්වයකට පත්කර ගත යුතු කඩිනම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ඇතිකළ යුතු බවට ද යෝජනා කර තිබෙනවා.

රටේ උන්නතිය අපේක්ෂා කරන්නන්ගේ අරගලයේ ඉදිරිය පවතින්නේ සාකච්ඡාවෙන්, සංවාදයෙන් සිදු කරන එකඟතාවලින් බවත් ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් සිදු කෙරෙනු ඇති බව තම විශ්වාසය බවත් අරගලකරුවන් සඳහන් කළා.

අරගලය මතින් මහා සුවිශාල ජයග්‍රහණ ගණනාවක් රටටත්, රටේ මහජනතාවටත් අත්කර දීමට තරුණ තරුණියන්ට හැකි වීම තම පරම්පරාවේ සුවිශේෂී ජයග්‍රහණයක් බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

සමස්ත ලෝකයේම ප්‍රජාතන්ත්‍රවාදය අගයන පිරිස මෙම අරගලය ඇගයීමට ලක් කරන බවත්, ඒ මතින් ලෝක අවධානය අප රටට හිමි වූ බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා.