කොටස් වෙළඳපොළට රාජ්‍ය ව්‍යවසායන් යොමු කරන්න පුලුවන්ද ? අපේ කොටස් වෙළඳ පොලේ එවැනි තත්ත්වයක් නැහැ - ජනපති (වීඩියෝ)

Friday, 05 August 2022 - 19:19

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B6%A7+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9C%E0%B6%B8%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%3F+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B6%91%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මම ඇත්තෙන්ම සතුටු වෙනවා මේ අවස්ථාවට එකතු වෙන්න ලැබීම ගැන ඇඩ්වකාටා කියන්නේ මම සෑහෙන කාලයක් එකතුවෙලා වැඩ කරපු තැනක්. අපි එක විදිහට හිතන පිරිසක්. මම ඔවුන්ගෙන් ඉල්ලීමක් කරා ආර්ථිකය සම්බන්ධ සම්මන්ත්‍රණ පවත්වනවා වෙනුවට ආර්ථිකය පිළිබඳ කතිකාවක් නිර්මාණය කරන්න කියලා. එවිට ඒ සඳහා උනන්දුව දක්වන බොහෝ පිරිසකට එකතුවෙලා අදහස් බෙදාගන්න පුළුවන්. අපේ රටේ ආර්ථික ස්ථායිතාවය ඇති කිරීම පිළිබඳ උපදේශන සභාවට එවිට හැකියාව ලැබෙනවා බොහෝ පුළුල් අදහස් බෙදා ගැනීමක් සිදු කරන්නට.

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිතාව සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රතිසංවිධානය පිළිබඳ බොහෝ පිරිසකගේ අවධානය යොමු වී තිබෙනවා. නමුත් ඒ උනන්දුව දක්වන හැම කෙනාටම ආර්ථික උපදේශන කමිටුවේ සාමාජිකයෙක් වෙන්න හැකියාවක් නැහැ. කෙසේ නමුත් ඒ කිසි කෙනෙක් අපේ ආර්ථික සංවර්ධන වැඩ පිළිවෙළෙන් ඉවත්කර කරන්න අපි අපේ සූදානම් නැහැ. කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින්, විද්වත් වෘත්තිකයින් වගේම අපි බලාපොරොත්තු වෙනවා කුඩා කර්මාන්තකරුවන් ගම්මාන මට්ටමේ විහිදිලා ඉන්න අය පවා මේ ආර්ථික සංවර්ධන වැඩ වැඩ පිළිවෙළට එක්කර ගන්නට.

අපි ඉදිරියේ තියෙන පළමු අභියෝගය වන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථායි කර ගැනීමයි. අපි අද මුහුණදෙන අර්බුදය තරමේ අර්බුදයක් අපි එංගලන්ත අධිරාජ්‍ය යටතේවත්, පෘතුගීසි එසේත් නොමැතිනම් ලන්දේසි ආක්‍රමණය යටතේ වත් අත්විඳ නැහැ. මා මේ හා සමාන ආර්ථික බිඳවැටීමක් ඉතිහාසයේේ දකින්නේ අපේ රජරට ආර්ථිකය බිඳ වැටීමයි. ඒ සිදුවීමත් මේ හා සමානයි. එය සමාජයේ සෑම ස්තරයක ට ම පහර දුන්නා. 1977 තායිලන්තයේ ආර්ථික අර්බූදය හැඳින්වූයේ ටොම් යන්ග් කුම් අර්බුදය කියායි. මන් දන්නෑ අපේ අර්බූදය කොහොම හඳුන්වන්න ඕනෙද කියලා. ඇතැම්විට අපිට කියන්න පුළුවන් මේකට හොද්ද කියලා. එය තමයි අපේ ආර්ථිකයේ අවසාන ඵලය වී තිබෙන්නේ.

මෙතනින් ගොඩ එන්න තියෙන එකම ක්‍රමය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගන්නා ගිවිසුම්. එතැනින් පිට මාර්ගයක් මට නම් පෙනෙන්නේ නැහැ. බොහෝ දෙනා විවිධ විකල්ප යෝජනා ගේනවා නමුත් ඒ කිසිවක් ප්‍රායෝගික නැහැ. 1994 ආසියානු අර්බුදය අවස්ථාවේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමා විසඳුම් දුන්නෙ. ඒ වගේම ශ්‍රී ලංකාවේ 2008 - 09 ආර්ථිකය අර්බුදය අවස්ථාවෙත් අපට පිහිට වුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. අපි කැමති වුනත් නැතත් අපිට යා යුතුව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟයි.

යම් පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රීවරයෙකු හෝ පාර්ලිමේන්තුවේ සිටින පක්ෂයක් මේ සමග එකඟ නොවනවා නම් අපට ඔවුන්ගෙන් අසන්නට සිදු වෙනවා ඔවුන් සතුව ඇති විකල්පය කුමක්ද කියා. මක්නිසාද සෑම පක්ෂයක්ම මෙම ගිවිසුම් සමඟ එකඟ විය යුතු වීම නිසාවෙන්. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කේවල් කිරීමේදී අපි මුහුණ දෙන විශාලම ගැටලුව තමයි වරින් වර වෙනස් වන ආණ්ඩු සහ වෙනස් වන ප්‍රතිපත්ති. අපි සූදානම් ද මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹීමට නියමිත ගිවිසුම් සමග සිට ගන්නට. අපි එසේ සූදානම් නැතිනම් එහි ප්‍රතිවිපාක විඳින්නටත් පාර්ලිමේන්තුව සූදානම් විය යුතුයි. අපට කියන්න බැහැ අපි කොටසකට සූදානම් අනිෙක් කොටසට සූදානම් නැහැ කියලා. මේවා පාර්ලිමේන්තුව ඇතුළේ සිටින අයගේ ප්‍රශ්න විතරක් නෙවෙයි ඉන් පිට සිටින සාමාන්‍ය ජනතාවගේත් ප්‍රශ්නයක්. මේ අයත් මෙයට සූදානම් විය යුතුයි.

මෙය ඇතැම් විට අමිහිරි විය හැකියි. ඇත්ත, ඕනෑම ප්‍රශ්නයකින් ගොඩයෑමට තියෙන පිළිතුරු අමිහිරි නමුත් අපට ගත යුතුව ඇත්තේ ඒ මාර්ගය පමණයි. අපි පළමුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මූලික ගිවිසුමට එළැඹෙන්නට ඕන. දෙවෙනි කාරණය තමයි අපගේ ණය තිරසර භාවය ඇති කර ගැනීම. අපි කොහොමද එය සිදු කරන්නේ. පළමුව විදෙස් ණය. නිල වශයෙන් අපි ලබාගෙන ඇති ණය පිළිබඳ සලකා බැලීමේදී අපි කලාපයේ භූ දේශපාලනික උගුලකට අසුවී තිබෙනවාද? එය පළමු
ප්‍රශ්නයයි. අපට එය මග හැර අපේ මග ඔස්සේ යා හැකිද? අපි අපේ මූලික නිල ණය හිමියන් සමග යම්කිසි එකඟතාවයකට පැමිණෙන්නේ නැතිව අපට ලන්ඩන් සමාජයේ සාකච්ඡා සඳහා යාමට හැකියාවක් නැහැ. අප ඉදිරියේ ඇති ඊළඟ වැදගත්ම කාරණය වන්නේ දේශීය වශයෙන් අපි ලබාගත් ණය පිළිබඳව ගන්නා තීන්දු තීරණ. එය බොහෝ දුෂ්කර, දුරදිග යන ප්‍රති විපාක විඳින්නට සිදුවන දෙයක්. අපේ ආර්ථික උපදේශකයින් මේ අන්ත දෙක සම්බන්ධයෙන් ඉතා සමීපව සොයා බලමින් සිටිනවා.

අපි නිසැක වශයෙන් ම දුෂ්කර කාල සීමාවක ඉන්නේ. මම කිසිසේත්ම නෑ කියලා කියන්නේ නෑ. ඉදිරි මාස හය සෑහෙන්න දුෂ්කර වෙයි. ඉන්පසු කාලයත් එතරම් පහසු වෙයි කියල හිතන්නත් අමාරුයි. නමුත් අපි හැමෝටම මෙය හරහා ගමන් කළ යුතු වෙනවා. කවුරුන් හෝ සතුව වෙනත් ක්‍රමවේදයක් තියෙනවා නම් මෙ‍ය පහසු කරන අපි එයට අනිවාර්යෙන් කන් දෙනවා. ඊට පසුව අපි පාර්ලිමේන්තුව හරහා මේ යෝජනා පිළිබඳ සලකා බලනවා.

අපි මේ ගොඩ ඒමේ ක්‍රමවේදයේදී ඉතා සමීපව නිරීක්ෂණය කළ යුතු කාරණය වන්නේ සමාජ ආර්ථික හැඩතලයයි. මිලියන 6 ට අධික ජනකායකට නිසි පෝෂණයක් නැහැ. ඒ වගේම අපේ රැකියා වියුක්තියත් දිනෙන් දින වැඩිවෙනවා. මෙය කෙතරම් කලක් පවතීද? අපි හැමෝම දන්නවා ඉන්ධන හිගය මේ රටේ ආර්ථික අර්බූදය බරපතළ කරා. ඒ වගේම උද්ධමනය වැඩි වෙන්නටත් ඒක එක හේතුවක්. නමුත් දැන් අපි රාජ්‍ය මැදිහත් වීම හරහා ඒ තත්ත්වය බොහෝ දුරට පාලනය කරගෙන තිබෙනවා.

අපේ ආර්ථික අර්බුදය දෙස බලද්දි අපි සොයා බැලිය යුතුයි මේ අර්බුදය හරහා බලපෑමට ලක් වූ කණ්ඩායම් පිළිබඳව. හොඳින් ජීවත් වූ බොහෝ දෙනෙක් මේ වන විට ගැටලුවලට මුහුණ දෙමින් සිටිනවා. අපි ඔවුන්ට සහන සලසන්නේ කෙලෙස ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා පවසා තිබෙනවා බෙහෙවින් දුෂ්කරතාවට පත්වූ පුද්ගලයින් පිළිබඳව පළමුව සලකා බැලිය යුතුයි කියන කාරණය ගැන. මේකට රජය වගේම සමස්ථ සමාජයත් එකතු විය යුතුයි කියලයි මම හිතන්නේ.

ඊයේ දිනයේ මම අමරපුර මහා සංඝ සභාවේ මහා නායක හාමුදුරුවෝ ප්‍රමුඛ කාරක සංඝ සභාව මුන මුණගැසුණා. එතැනදී මට මහනායක හාමුදුරුවෝ කියා සිටියා ඔවුන්ගේ පන්සල් හරහා පිසූ ආහාර බෙදා දීමේ වැඩ පිළිවෙළක් (ප්‍රජා මුළුතන්ගෙයි) ක්‍රියාත්මක කිරීමට සහයෝගය දීමට සූදානම් කියලා. ඒ වගේ විවිධ මාර්ග ඔස්සේ මට වුවමනායි පීඩනයට පත්ව සිටින අයට සහයෝගය දක්වන්නට. මොකද පසුගිය දශකය තුළ දී ඇති නැති පරතරය බරපතල විදිහට වැඩි වෙලා තියෙනවා. මේ කාලය තුළදී අඩු වරප්‍රසාද ලාභීන් පසෙකට තල්ලු වෙලා තියෙනවා. මේක එක ප්‍රධාන හේතුවක් වුණා අරගලය ඉස්මතු වෙන්න. ඒ වගේම තමයි පාසල් අධ්‍යාපනය. පසුගිය වසර දෙක තුනක කාලය තුළ දී අපගේ පාසල් අධ්‍යාපනය බිඳ වැටුණා. එක්තරා අවස්ථාවකදී කොවිඩ් එයට හේතු වුණු අතර ඊළඟට එය බිඳ දැමුවේ ඉන්ධන අර්බුදයයි.

අපි කොහොමද මේ ඇති නැති පරතරය අඩු කරගන්නේ. යෝජනා තියනවා බදු වැඩි කිරීම් පිළිබඳව. ඒ වගේම ධනවත් පන්තිය ට වැඩි බදු පැටවීම පිලිබඳවත් යෝජනා තියෙනවා. අපි පළමුව ආර්ථිකය ස්ථාවර කර ගන්නට ඕන. ඉන් අනතුරුවයි සමාජීය ගැටළු ස්ථාවර කර ගත හැක්කේ. ඔබට ආර්ථිකය ස්ථාවර කිරීමට අවශ්‍ය නම් ඔබට වේගවත් ප්‍රකෘතිමත් වීමක් අවශ්‍යයි. හරියට තායිලන්තය කරා වගේ. 1977 ඔවුන් මුහුණ දුන් අර්බුදයෙන් වසර දෙකක පමණ කාලයක දී ගොඩ එන්නට හැකියාව ලැබුණා.

මේ රට විවෘත ආර්ථිකයට යොමු කළ කණ්ඩායමේ එක සාමාජිකයෙක් මම. අපි ඒ ආර්ථිකය සමඟ ගමන් කිරීමේදී ලෝකයේ සිදුවන වෙනස්කම් වලට අනුව අපි වෙනස් වුණේ නැහැ. ඒකෙ ප්‍රතිවිපාක අපි අද විඳිනවා. එක නිසා නැවතත් ඒ පැරැණි ක්‍රමයට යා යුතු නැහැ. නැවත අපි එතැන සිර විය යුතු නැහැ. අපි අලුත් ක්‍රමයක් හිතමු. මම හිතන්නේ භාණ්ඩ හා සේවා ආර්ථිකය තමයි අපට පහසුවෙන් ගොඩ යා හැකි මාර්ගය වන්නේ. බලන්න ඉන්දියාව, බංග්ලාදේශය වගේ රටවල් අද කොහොමද ඒ සේවා සපයන්නේ කියලා. අපටත් ඒක කොළඹ, හම්බන්තොට, ත්‍රීකුණාමළය වරායන් මූලික කරගෙන ලෙහෙසියෙන් කරන්නට පුළුවන්. එය තමයි අපේ ආර්ථික ක්‍රමෝපාය විය යුත්තේ.

ඒ වගේම පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් අපට තියන හැකියාව බැලිය යුතුයි. අප සතුව ඇති ඇමෝනියා, හයිඩ්‍රිජන් ඒ වගේම ඉන්දියාවට විදුලි බලය අලෙවි කිරීම වගේ දේවල්. අපි බරපතළ ලෙස සොයා බැලිය යුතුයි න්‍යශ්ඨික ශක්තිය සංවර්ධනය කිරීමෙහිලා සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගත යුතුයි කියන එකයි මගේ අදහස. අපි රාමුවෙන් පිට පැන හිතන්නට ඕනෑ. ඒ වගේම අපේ කෘෂිකර්මය නවීකරණය විය යුතුයි එය ධීවර කර්මාන්තයටත් සිදුවිය යුතු දෙයක්.

අද අපි ළඟා කරගත යුත්තේ සමාජ වෙළඳපොල ආර්ථික තත්ත්වයක්. ඒ හරහා අපට ඇති නැති පරතරය සීඝ්‍රයෙන් අඩු කරකරගන්නට පුළුවන්. ජනතාව අතර මුදල් ගැවසෙන සමාජයක් හදා ගන්නට පුළුවන්. අපේ නිවාස අවශ්‍යතා ඉදිරි වසර 15 - 20 තුළ අපි සම්පූර්ණ කරග ට්ත යුතුයි. ඒ වගේම තමයි ග්‍රාමීය දරිද්‍රතාව දුරලීම සඳහා අපි සූදානම් විය යුතුයි.

ඒ වගේම අපි දැන් සොයා බැලිය යුතුයි අපේ කලාපීය වෙළඳ ඒකාබද්ධතාවය සම්බන්ධයෙන්. දකුණු ආසියානු කලාපයේ එවැනි වෙළඳ ඒකාබද්ධතාවක් මා දකින්නේ නැහැ. ඒක අවාසනාවන්ත තත්ත්වයක්. අපි පුළුවන් තරම් ද්විපාර්ශික එකඟතාවලට යා යුතුයි. මෙවැනි කලාපීය එකඟතාවලට යෑමේ දී විවිධ දේශපාලන ගැටලු මතු වෙන බව මා හොඳින් දන්නවා. නමුත් අපි ඒවා පසෙක තැබිය යුතුයි. අපිට කලාව, කෑම රටාවන් සම්බන්ධයෙන් එවැනි ඒකාබද්ධතාවක් ඇති කරගන්නට පුළුවන් නමුත් ආර්ථික වශයෙන් ඒක කරන්න ගියාම ප්‍රශ්න ගොඩයි. අපිට දෙවනුව සලකා බලන්න පුලුවන් නැගෙනහිර අප්‍රිකාව, ඒ වගේම යුරෝපාකරය අපේ තියන සම්බන්ධකම් අපි වැඩි කරගත යුතුය. විශේෂයෙන්ම මහා බ්‍රිතාන්‍ය සමග පවත්වනු ලබන ආර්ථික සම්බන්ධකම් ඒ වගේම ඇමරිකාවත් අපේ ආර්ථිකයේ අතිශය ශක්තිමත් කොටස්කරුවෙක්.

අපි සිහි තබා ගත යුතු කාරණය වන්නේ ඉදිරියේ සිදුවන ලෝක ආර්ථික වෙනස්කම් කිසිසේත් අපට හිතකර නැහැ. නමුත් අපිට ඒ සියලු ගැටළු වලින් රිංගා යන්නට සිද්ද වෙනවා. මේ අභියෝගය භාර ගන්න ඔබ සූදානම්ද? ඒ වගේම ඔබ මේ අභියෝගය භාර ගන්න අනිත් අය පොළඹවන්න සූදානම් ද? නැත්නම් වාඩිවෙලා බලාගෙන ඉන්නවද? 1977 අපිට වෙනසක් ඕනෑ වුණා. පැමිණි රජය ඒ වෙනස කරන්න මූලික වුණා. අපි වෙනස කරා පමණයි. අපිට එය ඉදිරියට ගෙන යන්නට පුළුවන් කමක් ලැබුණේ නැහැ. දැන් නැවතත් අපට වෙනසක් උවමනා වෙලා තියෙනවා. එය ගෝලිකරණය හා බැඳුණු වෙනසක්. ඒ සඳහා අපි තරගකාරී විය යුතුයි.

අපේ රාජ්‍ය ව්‍යවසාය වඩාත් වේගයෙන් වැඩ කළ යුතුයි. රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සිදුකල යුතුයි කියන කතාබහ සහ යෝජනා මේ දවස් වල වේදිකාවේ තිබෙනවා. නමුත් අපි ඒ ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කරන්නේ කොහොමද? ඒ සඳහා ඇති වේදිකාව කුමක්ද? බොහෝ දෙනා කියනවා මෙම ව්‍යවසායන් කොටස් වෙළෙඳ පොළ වෙත යොමු කළ යුතුයි කියලා. මට කොටස් වෙළඳ පොළ සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. අපේ කොටස් වෙළඳපළ ලන්ඩන් කොටස් වෙළඳ පොළ වගේ සක්‍රීය වෙළඳ පොළක් නොවෙයි. ඒ වගේම එහි පාලනය තිබෙන්නේ කිහිපදෙනකු අතේ. ඔවුන් තමයි කොටස් වෙළෙඳපොළ දුව වන්නේ. එවැනි කොටස් වෙළෙඳ පොළකට රජයේ ව්‍යවසායන් යොමු කළ හැකිද? එක්කෝ ඔබ වෙනස් විය යුතුයි. නැතිනම් අපි අලුත් ආයතනයක් පිහිටුවා ගත යුතුයි. කොටස් වෙළඳපළ සාධාරණව, සහ සැමට ප්‍රතිලාභ ලැබෙන ආකාරයට ක්‍රියාත්මක වන බවට සහතිකයක් අපට තිබිය යුතුයි.

මේ රටේ බොහෝ දෙනෙක් අද වන වෙනකොට බරපතළ ලෙස පීඩා විඳිනවා. අපේ ආර්ථිකය, අධ්‍යාපනය ඒ ක්‍රමවේදයන් අලුත් කළ යුතුයි. අපට තවදුරටත් පැරණි ක්‍රමවේදයන් හා රඳා පවතින්නට බැහැ. අපි අලුත් ක්‍රමවේදයන් අත්හදා බැලිය යුතුයි. අපේ තරුණ පරපුර ඉල්ලා සිටින ක්‍රමවේදයන්. ඒ සඳහා ඔබ හැඩගැසිය යුතුයි. ඒ සඳහා වන න්‍යාය පත්‍රයේ අංක එක විය යුත්තේ ආර්ථිකය සවිමත් කර ස්ථායි කර ගැනීමයි. එය එම න්‍යාය පත්‍රයේ අංක දෙක ද විය හැකියි. ඒක කරන්නෙ නැතුව එතනින් එහාට කිසි දෙයක් කතා කිරීම හෝ ප්‍රායෝගික නැහැ.