දීමනා රැසක් සමෘද්ධි බැංකුව හරහා ගෙවීමට යෑමෙන් ගැටළු රැසක්

Tuesday, 27 September 2022 - 19:44

%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%98%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B6%BB%E0%B7%84%E0%B7%8F+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
මහජන ආධාර , වැඩිහිටි දීමනා , ආබාධිත සහ වකුගඩු රෝගී දීමනා ලබන ප්‍රතිලාභීන් සඳහා මෙම මාසයේ සිට සමෘද්ධි බැංකු හරහා අදාළ දීමනා ගෙවීමට කටයුතු කිරීම හේතුවෙන් ඔවුන්ට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුව ඇති බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

මීට පෙර එම දීමනා ලබා දෙනු ලැබුවේ ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් හෝ උපතැපැල් කාර්යාල මඟින්.

කෙසේ වෙතත් ප්‍රතිලාභීන්ට මුහුණ පෑමට සිදුව ඇතැයි කියන දුෂ්කරතා ඉදිරි සතිය තුළදී විසදීමට කටයුතු කරන බවයි සමස්ථ ලංකා සමෘද්ධි බැංකු සහ බැංකු කාර්යාල සංගමය පවසන්නේ.

දිවයින පුරා තැපැල් හා උප තැපැල් කාර්යාල 4000 බැගින් පැවතියද දිවයින පුරා පවතින සමෘද්ධි බැංකු සංඛ්‍යාව 1074 ක්.

එවැනි සීමිත සංඛ්‍යාවක් පැවතීම හේතුවෙන් එක් සමෘද්ධි බැංකුවකින් ග්‍රාම නිලධාරි වසම් 15කට අධික ප්‍රමාණයක් ආවරණය වනවා.

එම නිසා බොහෝදුරක් ඇතැම් විට ප්‍රතිලාභින්ට ගමන් කිරීමට සිදුවන අතර දීමනා ලබා ගැනීමේදී විවිධ ගැටලුවලට ඔවුන් මුහුණ දෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර දීමනා ලබා දීම සමෘද්ධි බැංකු වෙත පැවරුව ද ගිණුම් විවෘත කිරීම ඇතුලු ඊට අදාළ කටයුතු මේ වන තෙක්ම සමෘද්ධි බැංකු තුළ සිදුව නොමැති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමයේ ලේකම් චාමර මද්දුමකලුගේ සඳහන් කළේ.

කෙසේ වෙතත් අදාළ දුෂ්කරතා ලබන සතිය වන විට විසඳන අතර සැප්තැම්බර් මාසයට අදාළ දීමනා මුදල් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට ලද වහාම ගෙවා දැමීමට කටයුතු කරන බවයි සමස්ථ ලංකා සමෘද්ධි බැංකු සහ බැංකු කාර්යාල සංගමයේ ප්‍රධාන සභාපති එන්.ඒ.එම්.අයි.ඩී. අබේසිංහ සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories