ඇමැති මනුෂගෙන් විවෘත අභියෝගයක්

Tuesday, 24 January 2023 - 19:05

%E0%B6%87%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉතා අසීරුවෙන් රට ස්ථාවර කරමින්, ආර්ථිකය සුමට කරමින් සිටින මොහොතක, අවශ්‍යම මොහොතේ රටේ වගකීම භාර ගැනීමට තරම් කොන්ද පණ නොතිබුණු පිරිස පටු දේශපාලන වාසි කතා ඡන්දය වෙනුවෙන් රටේ ප්‍රශ්න භාවිත කරන බවත්, පළාත් පාලන මැතිවරණයෙන් රටේ දැවෙන ප්‍රශ්න විසදිය හැකිනම් ඒවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙසත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

ඒ අද නාරාහේන්පිට මෙහෙවර පියෙස හි දී පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමින්.

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා...

ගිය වසරේ මැයි ජුනි ජුලි වල රටේ තිබුණේ ඉතා භයානක තත්ත්වයක්. ගිණි ගන්න රටක්. බරපතල ප්‍රශ්නයක් තිබුණු රටක්. අපි ඒ අවදානම බාර ගත්තා. ඒ ගින්න නිවන වගකීම භාර ගත්තා. ජනාධිපතිවරයා සමග එකතු වෙලා තෙල්, ගෑස්, බෙහෙත් පෝලිම් නැති කරලා තියෙනවා. අමාරුවෙන් ආර්ථිකය ශක්තිමත් කරලා තියෙනවා. ඒ වගේ ම භාර ගත් වගකීම ක්‍රියාවෙන් ඔප්පු කළා. ඒ විදේශ සේවා නියුක්ති කාර්යංශය හරහා රුපියල් බිලියන තුනක් මහා භාණ්ඩාගාරයට ලබා දීමෙන්. රට නැවත යථා තත්ත්වයට පත් කරන ගමනට ක්‍රියාවෙන් ම දායකත්වය දීලා තියෙනවා.

අමාත්‍යංශය විදියට විදේශ සේවා නියුක්ති කාර්යංශය වේගයෙන් වැඩ කළා. පහුගිය වසරට තුන් ලක්ෂ දොළොස් දහසක් විදෙස් රැකියා ගත කරලා දෙසැම්බර් වෙද්දී විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 476.5ක් දක්වා වර්ධනය කළා. එක එක කමිටු කෝප වෙලා එක එක ප්‍රකාශ නිකුත් කරද්දී, ආයතන නිලධාරීන් තලා පෙලා දාන්න උත්සාහ කරද්දී, රජයේ භාණ්ඩාගාරයට රුපියල් බිලියන තුනක් දීලා අපිත් උත්තර දුන්නා. රටේ ප්‍රශ්න විසදන්න අපි දෙන දායකත්වය අපි පෙන්නුම් කළා.

රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න නම් මිනිස්සුන්ට කන්න, බොන්න, බෙහෙත් ඇතුළු මූලික අයිතීන් ආරක්ෂා වෙන්න ඕනෑ. අපේ වගකීම යුතුකම ඉෂ්ට කරන්න ඒ වෙලාවේ අපි එකතු වුණේ ඒ නිසයි. මේ වෙලාවේ ගොඩක් අය කියනවා බර අවි පාවිච්චි කරනවා, බර අවි සූදානම්, උත්තරේ සූදානම් කියලා. අපි කියනවා යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියලා. රට අමාරුවේ වැටුණු වෙලාවේ, ගිණි ගත්ත වෙලාවේ, කිසිම උත්තරයක් නොතිබුණු වෙලාවේ, උත්තර දෙන්න බය, උත්තර දෙන්න බැරිව, කොන්ද පණ නැතිව, වගකීම භාර ගන්න බැරි, අවදානම භාර ගන්න බැරි උදවිය දැන් කියනවා උත්තරේ දෙන්න සූදානම් කියලා. තව පිරිසක් කියනවා රට අමාරුවේ වැටුණු වෙලාවේ, කන්න බොන්න නැති වුණු වෙලාවේ, පෝලිම්වල මැරුණු වෙලාවේ, බර අවි යොදා ගන්න බැරි වුණු අය දැන් කියනවා බර අවි සූදානම් කියලා.

බර අවි සූදානම් කරලා තියෙන්නේ පළාත් පාලන මැතිවරණයට. මේ මැතිවරණයෙන්, මේ බර අවි වලින්, මේ උත්තර වලින් මේ රට වෙනස් කරන්න පුළුවන් නම් බොහොම හොදයි. පළාත් පාලන මැතිවරණයෙන් ගමේ මැම්බර් මහත්තුරු අටදාහක් පත් කළා ම, රටේ ප්‍රශ්න විසදන්න පුළුවන් නම්, මේ බර අවිවලින් උත්තරේ දෙන්න පුළුවන් නම් හරි ෂෝක්.

අපි කියන්නේ මේ වෙලාවේ උත්තර තියෙනවා නම්, බර අවි තියෙනවා නම්, මේ වෙලාවේ එකට එකතු වෙලා වැඩ කරන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා ක්‍රියාත්මක කරනවා වෙනුවට වෙන උත්තරයක් තියෙනවා නම් කියන්න. මේ වෙලාවේ සේවක වැටුපෙන් පවා බදු අය කරන්න, වැඩි කරන්න, පොලී අනුපාතික වැඩිකරන්න සිද්ධ වෙලා තියෙනවා. මින් එහා ගිය උත්තරයක් තියෙනවා නම් ඒක අරන් ඇවිත් ක්‍රියාත්මක වෙන්න. මේ ආර්ථික ප්‍රශ්නය විසදන්න බර අවි තියෙනවා නම් එන්න, ඇවිත් එකතු වෙලා මේක විසදන්න. පටන් ගත්ත වෙලාවේ ඉදන් අපි කිව්වේ ඡන්දවලට වියදම් නොකර, තියෙන තැනින් රට විනාශ නොකර සියලු දෙනා ම පාර්ලිමේන්තුවේ දී එකතුවෙලා, ආණ්ඩුකරණයට එකතු වෙලා, උත්තරේ දෙන්න. බර අවි ටික දෙන්න. ඒවායෙන් මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න උදව් වෙන්න.

පෝලිම්වල මිනිස්සු මැරෙද්දී, කන්න බොන්න නැතිව අසරණ වෙද්දී, බෙහෙත් නැතිව මැරෙද්දී, නොතිබුණු බර අවි, නොතිබුණු උත්තර එක්ක මොකද්ද මේ කරන දේශපාලනය? නැවත වරක් රට ස්ථාවර වෙමින් යනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉන්දියාව, ජපානය, චීනය සිය මූලික එකගතා පළ කරමින් ඉන්නවා. ඒ සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනවා. රජයේ බදු ආදායම ඉහළ යනවා. රුපියල ශක්තිමත් වෙනවා. භාණ්ඩ මිල ඉහළ යාම, උද්ධමනය අඩු වෙනවා. මුදල් අච්චු නොගහ නියාමනයක් සහිතව කටයුතු කෙරෙනවා. ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ පොලී අනුපාතික අඩු කර ගන්න, යම් යම් බදු සහන ලබා ගන්න, වැටුප් වර්ධක සහ සහන අවශ්‍ය අයට සහන දෙන්න, පුළුවන් වේවි.

මේ සියල්ල වෙනුවෙන් එකතු වෙනවා වෙනුවට නැවත වරක් උත්තරය, බර අවි අපි ළග කියන්නේ බොහොම විහිළු කතාවක්. නිසල දියේ ඕනේ කප්පිත්තෙක්ට නැවක් පදවන්න පුළුවන්. රළු මුහුදේ එහෙම ගමන් කරන්න අමාරුයි. රළු මුහුදේ සුක්කානම අතට ගත්ත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ අපේ කණ්ඩායම නැවත වරක් රට සුමට කරමින් ඉන්නවා. එදා රළු මුහුදේ වගකීම භාර ගන්න බැරි වුණු, බය වුණු, කොන්ද පණ නොතිබුණු අය දැන් කියනවා විසදුම, උත්තරේ, බර අවි අපේ අතේ කියලා.

ඒ විසදුම්, ඒ බර අවි, ඒ උත්තර මේ වෙලාවේ අරන් එන්නේ දේශපාලන වාසිය වෙනුවෙන්. දේශපාලනිකව බොර දියේ මාළු බාන්නයි සූදානම් වෙන්නේ. රටේ ආර්ථිකය ගොඩ නගන්න මේ වෙලාවේ බදු අය කරන්න වෙනවා. රාජ්‍ය සේවයේ අලුත් බදවා ගැනීම් නතර කරන්න වෙනවා. ආර්ථිකය ආරක්ෂා කරන්න, උද්ධමනය පාලනය කරන්න, පොලී අනුපාතිකය මේ විදියට තියාගෙන යන්න වෙනවා. යම් යම් හිරවීම් දරා ගන්න වෙනවා. හැබැයි මේ වෙලාවේ තියෙන අපහසුතා මත, ප්‍රායෝගික ගැටලු මත, ඒවා පාවිච්චි කරලා ඡන්ද දිනා ගන්න, තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉටුකර ගන්න, මේ අය උත්සාහ කරනවා. හැබැයි ඒක වැරදියි.

මේ වෙලාවේ සියලු දෙනා එකතු වෙමු. මේ මැතිවරණයෙන් පස්සේ පොලී අනුපාතික අඩු කරන්න පුළුවන් ද? පුද්ගල ආදායම මත, ව්‍යාපාර මත අය කරන බදු අඩුකරන්න පුළුවන් ද? රාජ්‍ය සේවයට අලුතින් බදවා ගන්න පුළුවන් ද? මේ මැතිවරණයෙන් පස්සේ මේ ඔක්කොම කරන්න පුළුවන් ද? එහෙම නම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න. පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ බදු අඩු කරනවා, ආදායම් බදු අඩු කරනවා, සියලු සහන දෙනවා කියලා කියන්න. එහෙම නැති ව බොරු කතා කියලා මේ රට අස්ථාවර කරන තැනට එන්න එපා.

අපි වගකීමක් බාර ගත්තා. අද වෙද්දී යම්තාක් තැනකට රට ගෙනවිත් තියෙනවා. කන්දකින් පහළට කඩාගෙන ආව බස් එකක් අපි නතර කරගෙන කන්ද උඩට හෙමින් හෙමින් අරගෙන යනවා. ආයෙත් මේ ගෙනයන ගමනට වංගු දාලා බස් එක ප්‍රපාතයට වැටෙන්න ඉඩ දෙන්න එපා.