දකුණු අප්‍රිකාවෙන් විස්සයි විස්ස ලෝක වාර්තාවක්

Monday, 27 March 2023 - 7:44

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ජාත්‍යන්තර පන්දුවාර 20 ක්‍රිකට් තරගයකදී කණ්ඩායමක් හඹාගොස් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව පිහිටුවන්නට දකුණු අප්‍රිකා කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඒ බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැති දෙවැනි පන්දුවාර 20 තරගය ලකුණු 259ක ඉලක්කයක් හඹා ගොස් කඩුලු 6කින් ජයගනිමින්.

දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන් හිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් සිය පන්දුවාර 20 නිමා කළේ කඩුලු 5ක් දැවී 258ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින්.

කයිල් මේයර්ස් 51යි.

සෙන්චූරියන් පිටියට දෙවනත් කළ ජොන්සන් චාර්ල්ස් පන්දු 46කින් ලකුණු 118ක් ලබාගත්තේ හතරේ පහර 10ක් සහ දැවැන්ත හයේ පහර 11ක් ද සමගින්.

චාර්ල්ස් සිය ශතයක පන්දු 39කින් වාර්තා කළේ ජගත් පන්දුවාර 20 පිටියේදී ක්‍රීඩකයකු වාර්තා කළ වේගවත්ම සිව්වැනි ශතයේ වාර්තාව ද සම කරමින්.

රොමාරියෝ ෂෙපර්ඩ් ලකුණු 41යි.

මාර්කෝ ජැන්සන් ලකුණු 52ක් ලබා දෙමින් කඩුලු 3ක් බිද දැමුවා.

ජයග්‍රහණය සදහා ලකුණු 259ක වාර්තාගත හඹා යෑම ආරම්භ කළේ කුයින්ටන් ඩී කොක් සමගින් රීසා හෙන්ඩ්‍රික්ස්.

ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට පන්දු 65කින් ලකුණු 152ක දැවැන්ත සබදතාවක් එක් කරමින් ඓතිහාසික ජයග්‍රහණයේ කරා දකුණු අප්‍රිකාව ගමන් ගන්නට මංපෙත් සියල්ල විවර කළා.

ඒ අතරවාරයේදී පන්දු 15කින් සිය අර්ධ ශතකය වාර්තා කළ ඩී කොක් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩකයකු වාර්තා කළ වේගවත්ම පන්දුවාර 20 අර්ධ ශතයකට හිමිකම් කීවා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කුයින්ටන් ඩී කොක් පන්දු 44කින් ශතයක් වාර්තා කළා.

ඔහුගේ ඉනිම හතරේ පහර 9කින් සහ හයේ පහර 8කින් වර්ණවත් වුණා.

රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 68ක් ලබා ගත්තේ පන්දු 28ක් පමණක් වැයකරමින්.

නායක ඒඩන් මාක්‍රම් නොදැවී ලකුණු 38යි.

මෙම තරගය අතරතුරේදී පන්දුවක් හතරේ සීමාව කරා ඇදී යෑමේදී එම පන්දුව නතර කරන්නට රෝමන් පවෙල් දිව ආවා.

නමුත් ඒ වන විට එම පන්දුව යළි ක්‍රීඩා පිටියට භාර දෙන්නට කුඩා දරුවෙකු සූදානම් වීම නිසා එම දරුවා තමාගේ සිරුරේ වැදී අනතුරකට පත්වේ යැයි සිතූ පවෙල් එය මගහරවාගෙන ඉවතට යද්දී තවත් දරුවෙකු හතරේ සීමාවෙන් පිට සිටි අතර ඔහු ද බේරා ගන්නට පවෙල් කටයුතු කළා.

ඒ අනුව දකුණු අප්‍රිකාව පන්දුවාර 18යි පන්දු 5කදී කඩුලු 4ක් පමණක් බිද වැටී ලකුණු 259ක් ලබා කණ්ඩායමක් ජගත් පන්දුවාර 20 තරගයකදී හඹා ගොස් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කීවා.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ඔස්ට්‍රෙලියාවයි.

ඔවුන් 2018 වසරේදී නවසීලන්තයට එරෙහිව හඹා ගොස් ලකුණු 244ක් ලබා තරගය ජයගෙන තිබුණා.

එමෙන්ම මෙම තරගයේදී දෙපිලේ ක්‍රීඩකයින් ලකුණු 517ක් ලබා ගෙන තිබුණු අතර පන්දුවාර 20 තරගයකදී ලකුණු 500යේ සීමාව පසු කළ පළමු අවස්ථාව ද මෙයයි.

මීට අමතරව මෙම තරගය පුරාවටම හයේ පහර 35ක් සහ හතරේ පහර 81ක් ක්‍රීඩකයින් විසින් එල්ල කර තිබුණු අතර එය ද එක් පන්දුවාර 20 තරගයක් තුළ දී වාර්තා වු වැඩිම හයේ සහ හතරේ පහර සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එක් වුණා.

තරගයේ වීරයා ලෙසින් කුයින්ටන් ඩී කොක් සම්මාන දිනාගත්තා.

මෙම ජයත් සමගින් තරග 3කින් සමන්විත පන්දුවාර 20 තරගාවලිය තරග එකට එකක් ලෙස සම කරන්නටත් දකුණු අප්‍රිකාවට හැකියාව ලැබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories