ආගමික නිදහස මර්ධනයට එරෙහිව චීන මුස්ලිම්වරු බලධාරීන් සමග ගැටේ

Thursday, 01 June 2023 - 23:14

%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
චීන බලධාරීන් විසින් නිරිතදිග චීනයේ මුස්ලිම් පල්ලියක් විනාශ කිරීම වැලැක්වීම සඳහා වාර්ගික සුළුතර මුස්ලිම්වරු දහස් ගණනක් පල්ලිය වටා රැස්ව සිය අවසන් උත්සාහය ගනු ලැබුවේ එය ආගමික නිදහසට එරෙහි මර්දනය පුළුල් කිරීමක් බවට චෝදනා කරමින්.

චීනයේ නායක ෂී ජින්පින් විසින් ආගම ඇදහීම වැළැක්වීම සඳහා මුදා හරින ලද දැවැන්ත ව්‍යාපාරයක් ("Sinicization") මධ්‍යයේ යුනාන් පළාතේ නජියායිං ගම්මානයේ හුයි ජනවාර්ගික කණ්ඩායමට අයත් මුස්ලිම් පල්ලියක ගෘහනිර්මාණ ශිල්පය වෙනස් කිරීමේ උත්සාහයක් ලෙස මෙය සැලකෙනවා.

මෙම ප්‍රතිපත්තියේ අරමුණ වන්නේ විදේශීය බලපෑමෙන් ආගමික විශ්වාසයන් ඉවත් කිරීම සහ සම්ප්‍රදායික චීන සංස්කෘතිය - සහ නිල වශයෙන් අදේවවාදී කොමියුනිස්ට් පක්ෂයේ අත්තනෝමතික පාලනය සමඟ වඩාත් සමීපව පෙළගැස්වීමයි.

මෑත වසරවලදී, බලධාරීන් විසින් ඉස්ලාමීය ගෘහ නිර්මාණ ශිල්පය වෙනස් කරමින් රට පුරා හුයි මුස්ලිම් පල්ලි දහසකට වඩා වැඩි ගණනක ඉදිකිරීම් කඩා බිඳ ඉවත් කර ඇති බව හූයි ක්‍රියාකාරීන් පවසන අතර, නජියායිං මුස්ලිම් පල්ලිය අවසානයට ඉතිරිව ඇති කිහිපයකින් එකක්.

දැන්, "sinicization" ව්‍යාපාරය අවසානයේ නජියායිං වෙත ද පැමිණ තිබෙනවා.

නජියායිං, හුයි ජනවාර්ගිකයන්ගේ ඓතිහාසික නිවහනක් සහ චීනයේ අග්නිදිග ආසියානු දේශසීමාවේ ජනවාර්ගික වශයෙන් විවිධ වූ පළාතක් වන Yunnan හි ඉස්ලාමීය සංස්කෘතිය සඳහා වැදගත් කේන්ද්‍රස්ථානයක්.

කෙසේ වෙතත් චීන බලධාරීන්ට ප්‍රදේශවාසීන්ගේ දැඩි ප්‍රතික්‍රියාවකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

සමාජ මාධ්‍යවල පළ කරන ලද සහ CNN විසින් භූ ස්ථානගත කරන ලද වීඩියෝවල දැක්වෙන්නේ ජනතාව, කැරලි මර්දන ආම්පන්නවලින් සැරසී සිටි පොලිස් නිලධාරීන් සමඟ ගැටෙන ආකාරයයි.

ඔවුන් කෝපයෙන් කෑගැසන අතර ඇතැමුන් වතුර බෝතල් සහ ගඩොල් පොලිසිය දෙසට විසි කරන අයුරු වීඩියෝවල දැක්වෙනවා.

"මෙය අපේ අන්තිම අභිමානයයි" යනුවෙන් ප්‍රදේශවාසියෙක් CNN වෙත පැවසුවා.

“ඒක හරියට අපේ ගෙදර කඩන්න අපේ ගෙදරට එනවා වගේ වැඩක්. අපිට එහෙම වෙන්න දෙන්න බෑ.”

පුද්ගලික ආරක්ෂාව සඳහා ඇති බිය නිසා නම් හෙළි කිරීම ප්‍රතික්ෂේප කළ මූලාශ්‍රයක් උපුටා දක්වමින් CNN පැවසුවේ, කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයේම වැඩිහිටියන් සහ ළමුන් ඇතුළු දහස් ගණන් හුයි පදිංචිකරුවන් සෙනසුරාදා පල්ලිය වටා රැස්ව සිටි අතර, ඒ අසල 1,000 කට අධික පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා සිටි බවයි.

දහවල් 1.00 ට පමණ ආතතීන් උත්සන්න වූ අතර බැතිමතුන් දහවල් යාඥා මෙහෙය සඳහා පල්ලියට ඇතුළු වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටි බව මූලාශ්‍රය පවසයි.

පොලිස් නිලධාරීන් එම පිරිසට බැටන් පොලුවලින් පහර දෙන අයුරු තමන් දුටු බවත්, එය ඇතැම් පිරිස් පොලිසිය සමඟ ගැටීමට හේතු වූ බවත් ඔවුන් පැවසුවා.

එම ස්ථානයේ සිටි විරෝධතාකරුවන් විශාල පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවද වාර්තා විය.

දැනට එක්සත් ජනපදයේ ජීවත් වන සහ නජියායිං පදිංචිකරුවන් සමඟ සමීප සම්බන්ධතා පවත්වන ප්‍රමුඛ හුයි ක්‍රියාකාරිකයෙකු වන Ma Ju, පුද්ගලයන් 30 දෙනෙකු පමණ අත්අඩංගුවට ගත් බව CNN වෙත පවසා තිබුණා.

‘අපේ බියකරු සිහිනය දැන් පටන් ගන්නවා පමණයි’

සෙනසුරාදා පැය ගණනක් පැවති ගැටුම විරෝධතාකරුවන්ට තාවකාලික ජයග්‍රහණයක් ලබා දුන් අතර, වීඩියෝ දර්ශනවලට අනුව පොලිසිය පසුබැසීමත් සමඟ ජනතාව මුස්ලිම් පල්ලියට ඇතුලු වනවා.

සෙනසුරාදා රාත්‍රිය සහ ඉරිදා මුළුල්ලේම, ප්‍රදේශවාසීන් පල්ලිය ආරක්ෂා කිරීමට මාරුවෙන් මාරුවට කටයුතු කර තිබෙනවා.

නමුත් CNN වෙත අදහස් දැක්වු පිරිසට අනුව විරෝධතාවයේ ප්‍රතිවිපාක ඉක්මනින් අත්විඳින්නට සිදු වනු ඇති.

ඉරිදා දහවල් වන විට, බලධාරීන් තවත් පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බවට ආරංචියක් පැතිර ගොස් තිබුණා.

ඉරිදා සවස, නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන් දැඩි නමුත් නොපැහැදිලි ප්‍රකාශයක් නිකුත් කළා.

විරෝධතාව හෝ මුස්ලිම් පල්ලිය ගැන සඳහන් නොකර, "සමාජ පිළිවෙල බරපතල ලෙස කඩාකප්පල් කළ" සහ "නීච සමාජ බලපෑමක්" ඇති කළ සෙනසුරාදා සිදුවූ සිද්ධියක් ගැන පොලිසිය විමර්ශනය කරමින් සිටින බව එහි සඳහන් විය.

බලධාරීන් සිද්ධියේ “සංවිධායකයන් සහ සහභාගිවූවන්ට” සහනයක් ලබා ගැනීම සඳහා ජුනි 6 වැනිදාට පෙර ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටි අතර, එකිනෙකා ගැන වාර්තා කිරීමට මහජනතාව දිරිමත් කළා.

සඳුදා වන විට නජියායිං භීතියෙන් ඇළලී ගිය බව සිය මූලාශ්‍රය උපුටා දක්වමින් CNN පවසයි.

බොහෝ ප්‍රදේශවල අන්තර්ජාලය විසන්ධි කර ඇත.

ඩ්‍රෝන යානා ඉහළට නැඟ ගම නිරීක්ෂණය කරයි.

ප්‍රසිද්ධ ශබ්ද විකාශන යන්ත්‍ර හරහා බලධාරීන්ගේ පණිවිඩය පුන පුනා ප්‍රචාරය කරමින් විරෝධතාකරුවන්ට තමන් වෙත භාරවෙන ලෙස ඉල්ලා සිටි බව මූලාශ්‍රය පැවසුවා.

“අපගේ බියකරු සිහිනය දැන් ආරම්භ වී ඇති බවක් හැඟේ,” මූලාශ්‍රය CNN වෙත පැවසුවා."හැමෝම බයෙන් ඉන්නේ...ඊළඟට මොනවා වෙයිද කියලා අපි දන්නේ නෑ."

අනෙක් ප්‍රදේශවාසීන් කතා කිරීමට පවා බිය වූ බවක් පෙනෙන්නට තිබුණු බව CNN වාර්තා කළා.

CNN නාලිකාවට දුරකථනයෙන් සම්බන්ධ වූ එක් වෙළඳසැලක හිමිකරු පැවසුවේ, “ඔබ මාධ්‍යවේදීන් අපට සිදුවෙමින් පවතින දේ වාර්තා කිරීමට මෙහි පැමිණිය යුතුයි.” සිදුවූයේ කුමක්ද යන්න පැහැදිලි කරන ලෙස CNN විසින් විමසූ විට, ඔහු "දන්නේ නැහැ" යනුවෙන් පිළිතුරු දී දුරකථනය විසන්ධි කර තිබෙනවා.

"ඔවුන් Xinjiang වෙත කළේ ද මෙයයි"

හූයි මුස්ලිම්වරු පල්ලියක් ආරක්ෂා කිරීම සඳහා බලධාරීන් සමඟ ගැටුමක නිරත වූ පළමු අවස්ථාව මෙය නොවේ.

2018 දී, චීනයේ වයඹ දෙසින් පිහිටි Ningxia හි දහස් ගණනක් Hui පදිංචිකරුවන්, අලුතින් ඉදිකරන ලද මුස්ලිම් පල්ලියක් කඩා බිඳ දැමීම වැළැක්වීම සඳහා දින තුනක් විරෝධතා වල නිරත වුණා.

ප්‍රාදේශීය ආණ්ඩුව පල්ලිය කඩා දැමීම නතර කළ නමුත් පසුව මුස්ලිම් පල්ලියේ ගෝලාකාර ඉදිකිරීම් වෙනුවට සම්ප්‍රදායික චීන විලාසිතාවේ පැගෝඩා ආදේශ කරනු ලැබුවා.

මුස්ලිම් පල්ලිවල වාස්තුවිද්‍යාත්මක ප්‍රතිසංස්කරණ සිදු වන්නේ, නිල වශයෙන් නම් කරන ලද “ස්වාධීන කලාපයක්” වන Ningxia ඇතුළුව, වයඹ දෙස සිට නැගෙනහිරින් වෙරළබඩ නගර දක්වා චීනය පුරා විසිරුණු කුඩා ප්‍රදේශවල ජීවත් වන මිලියන 11ක ජනවාර්ගික සුළුතරයක් වන හුයිවරුන්ගේ ආගමික නිදහස මර්ධනය කිරීම පිළිබඳ චෝදනා සමඟ යි.

අරාබි සහ පර්සියානු වෙළෙන්දන්ගෙන් පැවත එන අය ලෙස විශ්වාස කරන හූයි ජනවාර්ගිකයින්, හන් බහුතරය විසින් ආධිපත්‍යය දරන පුළුල් චීන සමාජයට හොඳින් සම්බන්ධ වී සිටිනවා.

බොහෝ අය මැන්ඩරින් භාෂාව කතා කරන අතර, හන්වරු සමඟ ජීවත් වන අතර මෑත දශකවලදී අනෙකුත් ජනවාර්ගික කණ්ඩායම්වලට සාපේක්ෂව ඔවුන්ගේ ඇදහිල්ල පිළිපැදීමට වැඩි ඉඩක් හිමි වී තිබෙනවා.

එහෙත් හූයි ක්‍රියාකාරීන් පවසන්නේ බටහිර ෂින්ජියැන්ග් ප්‍රදේශයෙන් ආරම්භ වූ කොමියුනිස්ට් පක්ෂයේ ඉස්ලාම් මර්දනයේ නවතම ඉලක්කය බවට ඔවුන්ගේ වාර්ගික කණ්ඩායම පත්ව ඇති බවයි.

අවම වශයෙන් 2017 සිට, ෂින්ජියැන්ග් හි සිර කඳවුරුවල මිලියනයකට අධික උයිගර් සහ අනෙකුත් මුස්ලිම් සුළුතර ජාතීන් රඳවා තබාගෙන ඔවුන්ගේ සංස්කෘතික සහ ආගමික අනන්‍යතාවය යටපත් කිරීම සඳහා බලහත්කාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් චීන රජයට චෝදනා එල්ල වී තිබෙනවා.

"මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක්" විය හැකි උයිගුර්වරුන්ට එරෙහිව බරපතල මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් පසුගිය වසරේ එක්සත් ජාතීන්ගේ වාර්තාවක් මගින් ද චීන රජයට චෝදනා එල්ල කළා.

චීනය නැවත නැවතත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර දැවැන්ත කඳවුරු ස්වේච්ඡා “වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන” බව අවධාරණය කරනවා.

හුයි ක්‍රියාකාරීන් සහ අයිතිවාසිකම් කණ්ඩායම් කියා සිටින්නේ, ඉස්ලාමීය පාසල් වසා දැමීම, දරුවන්ට ඉස්ලාම් ඉගෙනීම හා ප්‍රගුණ කිරීම තහනම් කිරීම ඇතුළුව, චීනය පුරා හුයි මුස්ලිම්වරුන්ගේ ආගමික වත්පිළිවෙත් සීමා කිරීමට බලධාරීන් මෑත වසරවල උත්සාහයන් වේගවත් කර ඇති බවයි.

Ma Ju පවසන පරිදි යුනාන් හි මුස්ලිම් පල්ලි දෙසීයකට අධික සංඛ්‍යාවකට දැනටමත් ඔවුන්ගේ ගෘහ නිර්මාණ ශිල්පීය අනන්‍යතාව අහිමි වී තිබෙනවා.

"මුලදී, මිනිසුන් සිතුවේ එය වාස්තුවිද්‍යාත්මක ශෛලිය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් බවයි ... නමුත් (රජය) මුස්ලිම් පල්ලිවලින් ගෝලාකාර කොටස් ඉවත් කරනවා පමණක් නොව, ඒවායේ ආගමික හා සමාජීය ක්‍රියාකාරීත්වයද ඉවත් කරන බව ඉතා ඉක්මනින් පැහැදිලි විය," මා පවසනවා.

රජය විසින් පනවා ඇති සීමාවන් යටතේ, බොහෝ හුයි දැන් ඔවුන්ගේ ප්‍රජාවන් සඳහා ආගමික හා සමාජීය ජීවිතයේ කේන්ද්‍රස්ථානය වූ මුස්ලිම් පල්ලියට යාමට බිය වන බව මා පෙන්වා දෙනවා.

පක්ෂයේ අවසාන ඉලක්කය ෂින්ජියැන්ග්හි කළාක් මෙන් “සංස්කෘතික හා ආගමික ජන සංහාරයේ” ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම බව ඔහු චෝදනා කළා.

නජියායිං හි පදිංචිකරුවන්ට, මුස්ලිම් පල්ලියේ සැලසුම වෙනස් කිරීමේ ආණ්ඩුවේ සැලැස්ම ඉදිරි දරුණු මර්දනයක පෙර නිමිත්තක් පමණයි.

“මෙය පළමු පියවර පමණයි. අපි කනස්සල්ලට පත්වන්නේ ඉන් පසුව, (බලධාරීහු) අපගේ දරුවන්ට (ආගමික) පන්තිවලට යාම තහනම් කරනු ඇත, බාලවයස්කරුවන්ට මුස්ලිම් පල්ලිවලට ඇතුළුවීම තහනම් කරනු ඇත, කුරානය අධ්‍යයනය කිරීම තහනම් කරනු ඇත,” ඔවුන් පවසනවා.

භීතියේ සංස්කෘතිය පැතිරී තිබියදීත්, ඔවුන් විශ්වාස කිරීමේ නිදහස සහ හුයි වාර්ගිකත්වයේ ගෞරවය වෙනුවෙන් "අවසානය දක්වා සටන් කරන" බවට සපථ කරනවා.

“සාමාන්‍ය ජනතාව වන අපි බොහෝ දේ ඉල්ලන්නේ නැහැ. අපිට ඕන අපේම ආගමික නිදහසක් තියෙන්න විතරයි. අපට අවශ්‍ය වන්නේ සාමයෙන් ජීවත් වීමටයි,” ඔවුන් අවධාරණය කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories