ක්ලබ් වසන්ත ඝාතනයට ඇල්ලූ ටැටූ ආයතන හිමිකරු රහස් ප්‍රකාශයකට සැරසෙයි (වීඩියෝ)

Wednesday, 10 July 2024 - 19:42

%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B6%B6%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%A7%E0%B7%90%E0%B6%A7%E0%B7%96+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අතුරුගිරිය මංසන්ධියේ ටැටූ ව්‍යාපාරික ස්ථානයක් තුළදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 07 දෙනා මේ මස 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබංඩාර හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එහිදී පොලීසිය සැකකරුවන් රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එමෙන්ම සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් පළමු සැකකරු වන ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු වන දුලාන් සන්ජුල නමැත්තා රහස් ප්‍රකාශයක් ලබා දීමට කැමැත්තෙන් සිටින බවද අධිකරණයට දැනුම් දුන්නා.

අතුරුගිරිය මංසන්ධියේ පිහිටි ටැටූ ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීමට පැමිණි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය 08 වැනිදා උදෑසනයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු වන දුලාන් සන්ජුල නමැත්තා අතුරුගිරිය පොලිසිය විසින් භාරයට ගැනුණා.


ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ඝාතනය සැලසුම් කළ බවට ඔහු පොලිසියට පාපෝච්චාරණය කිරීමත් සමග තවත් සැකකරුවන් 6 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා.

එම සැකකරුවන් අහුංගල්ල, බලපිටිය, ගනේමුල්ල, අම්බලන්ගොඩ සහ බෙලිඅත්ත යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 24ත් 37ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩික්කරුවන් පැමිණි සුදු පැහැති මෝටර් රථය අම්බලන්ගොඩ සිට අතුරුගිරිය ප්‍රදේශයට රැගෙන ආ පුද්ගලයින් දෙදෙනාද ඒ අතරට අයත්.

මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සියලු‍ම සැකකරුවන්ගේ ජංගම දුරකථන පොලිස් භාරයට ගෙන ඇති අතර ඒ ඔස්සේ සිදුකරන විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ විදේශ රටක සිට සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මෙහෙයුම් මත මෙම සැකකරුවන් අපරාධයට ආධාර අනුබල දී ඇති බවයි.

සැකකරුවන් අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර අතුරුගිරිය පොලිසියේදී ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු දුලාන් සන්ජුල පොලිසිය ඉදිරියේ පාපෝච්චාරණයක් සිදුකළා.

ඉන් අනතුරුවයි සැකකරුවන් දැඩි ආරක්ෂාවක් යටතේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ.

මේ අතර මෙම ඝාතන සිද්ධියට අදාළව පොලිස් කණ්ඩායම් විසින් සිදුකර ඇති විමර්ශනවලට අනුව තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව, මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සියලු‍ම සැකකරුවන් අතරේ මෙම ඝාතනය සැලසුම් කිරීමට අදාළව රුපියල් ලක්ෂ 15 කට අධික මුදලක් සංසරණය වි ඇති බවයි.

එම මුදල් ඇතැම් අවස්ථාවල ගිණුම්ගත කර ඇතත් බහුතර සැකකරුවන්ට අත්පිට මුදල් ලෙස ලබාදී තිබෙනවා.

ඝාතන සැලසුමට භාවිත කළ සියලු‍ම වාහන කලක පටන් වාහන බලහත්කාරයෙන් අත්පත් කරගන්නා සීසර්වරුන් හරහා විටින් විට හුවමාරු වී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වුණා.

එම කටයුතු මෙහෙයවා ඇත්තේ මත්ද්‍රව්‍ය අලෙවියේ නිරත පාතාල කල්ලි සාමාජිකයෙකු වන ගොනා කෝවිලේ ශාන්ත නමැති දැනට ඩුබායි රාජ්‍යයට පලාගොස් සිටින පුද්ගලයෙකු විසින් බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

වෙඩික්කරුවන් ටැටූ ව්‍යාපාරික ස්ථානය සඳහා පැමිණි සුදු පැහැති මෝටර් රථය දැනට අත්අඩංගුවට ගෙන සිටින මහේෂ් නමැති සැකකරු සහ තවත් පුද්ගලයෙකු විසින් එදින පාන්දර 3ට පමණ අතුරුගිරිය ගල්පොත්ත පාර ප්‍රදේශයට රැගෙනවිත් තවත් පුද්ගලයෙකුට ලබාදී තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව දැනට අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින ප්‍රධාන සැකකරුවෙකු වන සාගර මහේෂ් නමැති පුද්ගලයා කලක් යුද හමුදාවේ ක්‍රීඩා නිලධාරියෙකු ලෙස සේවය කර ඇති අයෙක්.

වෙඩි තැබීම සිදුකර මෝටර් රථයෙන් පලාගිය සැකකරුවන් කඩුවෙල කොරතොට ප්‍රදේශයේදී වෑන් රථයකට මාරුවන ආකාරය ක්‍ක්‍ඔඪ දර්ශනවල පටිගත වී තිබුණා.

එම වෑන් රථය මීට මාස එකහමාරකට පෙර පනාගොඩ යුද හමුදා කඳවුර ආසන්නයේ පිහිටි ස්ථානයක තිබී ඇති අතර එය එම ස්ථානයෙන් බෙලිඅත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නිවසකට රැගෙන ගොස් දෙන ලෙස වාහන සීසර්වරයෙකුට ගොනා කෝවිලේ ශාන්ත රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ලබාදී ඇති බවද විර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

ඝාතනය සිදුකර පාලයාම සඳහා භාවිත කළ එම වෑන් රථය පසුගිය 6 වැනිදා උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු වෙත භාර දී ඇති බවද පොලිස් විමර්ශනවල සඳහන්.

මෙම ඝාතනයට දැනට ඩුබායි සහ ප්‍රංශය යන රටවල් අතර සංක්‍රමණය වෙමින් සිටින බව පැවසෙන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපාණි ඉම්රාන්ගේ සම්බන්ධයක් පැවති බවට ද වාර්තා පළ වූ අතර ඒ පිලිබදව ද තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

එමෙන්ම, ක්ලබ් වසන්තට එරෙහිව මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් ද මීට පෙර සිටම පොලිස් ස්ථාන වෙත පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවයි විමර්හන සිදු කරන උසස් පොලිස් නිලධාරීයෙකු සදහන් කළේ.

මේ අතර මෙම වෙඩි තැබීමෙන් ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය මේවනවිට බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක් තැම්පත් කර තිබෙනවා.

එමෙන්ම වෙඩි තැබීමෙන් මියගිය ජනප්‍රිය ගායන ශිල්පී කේ.සුජීවාගේ සැමියා වූ නයන වාසුල විජේසූරිය නමැත්තාගේ දේහය අධිකරණ නියෝග මත කේ. සුජීවාගේ දියණියන් දෙදෙනාට භාර දීමෙන් අනතුරුව තලාහේන පොදු සුසාන භූමියේදී අද පස්වරුවේදී මිහිදන් කෙරුණා.

ක්ලබ් වසන්තගේ බිරිඳ ද කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ තවදුරටත් ප්‍රතිකාර ලබන අතර ඇයගේ තත්ත්වය තවමත් බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුගේ බිරිඳ මේ වනවිට හෝමාගම මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

එමෙන්ම බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ජනප්‍රිය ගායන ශිල්පිණී කේ. සුජීවා සහ අනෙක් පුද්ගලයා සැත්කම් කිහිපයකට භාජනය කිරීමෙන් අනතුරුව මේ වන විට ප්‍රතිකාර ලබන්නේ සාමාන්‍ය ප්‍රතිකාර වාට්ටුවකයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories